GMOA

මේ වන විට පාසල් විවෘත වෙමින් පැවැතීම මෙන්ම එළැඹෙන උත්සව සමය හේතුවෙන් සංචරණය වැඩි වන
නිසා ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැසීය.
 
ඊයේ (15දා) කොළඹදී මාධ්‍ය  වෙත අදහස් දක්වමින් එහි මාධ්‍ය  ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද
මහතා පැවැසුවේ විශේෂයෙන් උත්සව සමය තුළ කොළඹින් පිටවීම සහ කොළඹට ඇතුළු වීම යන දෙකම සීමා
සහිත කිරීම අවශ්‍ය බවයි.



සංචරණ සීමා ඇතිකරමින් රෝගය යළි උත්සන්න වීමට ඉඩ නොදිය යුතු බව ඔහු පැවැසීය. තවද දැන් සිටින
පාලිත තත්ත්වය පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් යළි බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බවද සමන්ත
ආනන්ද මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවැසීය.

මේ වන විට පෙර තිබුණු ආකාරයට වඩා සංචරණය වැඩි වී තිබෙනවා.

මේ වෙද්දී පාසල් ආරම්භ කරමින් පවතින අතර ඉදිරියේදී එළැඹෙන උත්සව සමයේදී ද සංචරණ වැඩිවන
හෙයින් ඒ ගැන අවධානයෙන් පසු විය යුතු වෙනවා.

ඒ වගේම සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් රටවල සිට පැමිණෙනවා. දැන් පවතින තත්ත්වය අනුව සියල්ල
පිළිබඳ පුළුල් සමාලෝචනයක් කළ යුතු වෙනවා වගේම පාසල් තුළට විශේෂ අවධානයක් යොමුකළ යුතු වෙනවා.

උත්සව සමය තුළ පිට පළාත්වලින් විශාල ජනතාවක් පැමිණෙනවා. ඒ නිසා ඒ ගැන විශේෂ වැඩපිළිවෙළක්
සකස් කළයුතු වෙනවා.

එම නිසා සංචරණ සීමා පැනවීම වැදගත්.

“පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ගැනත් කතාබහක් තිබෙනවා. රෝගය යම් ලෙසකින් පාලනය වෙලා තියෙන
නිසා පී.සී.ආර්. පරීක්ෂණ අඩු කරන්න හැකි වෙලා තිබෙනවා. පී.සී.ආර්. අඩු කිරීම කළ යුතු වන්නේ
විද්‍යාත්මක පැහැදිලි කිරීමට අනුවයි. ඒ අනුව ඒ ගැනත් සමාලෝචනය කිරීම වැදගත්. පී.සී.ආර්.
ප්‍රමාණය හිතාමතා අඩු කරලද නැත්නම් විද්‍යාත්මක හේතුවක් මත කරලද යන්න පිළිබඳ සෞඛ්‍ය
බලධාරීන් රටට හෙළිකළ යුතු වෙනවා.”

එන්නත්කරණ වැඩපිළිවෙළ  ගැනද අදහස් මෙහිදී දැක්වූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවැසුවේ පැතිරීම
පාලනය කිරීමට ජනගහනයෙන් 60%කට වැඩි පිරිසක් එන්නත් කරන්න අවශ්‍ය බවයි.

කිරුළපන _ චතුර දේශාන් ලියනගේ