sangakkara land

ඉඩම ලියා ගන්න ආපු වත්තේ මහත්තයා අපව මැරෙනකම් බලාගන්නවා කිව්වා. දැන් ඔපරේෂන් එකට දින දීලා නුවර ඉස්පිරිතාලෙට වත් යන්න සල්ලි නෑ.  ඉඩමේ කතාව පත්තරේ ගිය නිසා ඉදිරියට මේ වැඩේ කරන්න බෑ කියලා කිව්වා. අපි දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඉඩමත් නෑ.  ජීවිතේ විනාශ වෙයි කියලා ලොකු බයකින් ඉන්නේ".. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සීගිරිය මයිලෑත්තෑව ප්‍රදේශයේ ඉඩමක් පැවරීමේ සිද්ධියේ ඉඩම් පැවරීම සිදුකළ ඇතුල්  පේඩිගේ පත්මිණි මහත්මිය පැවසුවාය.  සීගිරිය මයිලෑව ප්‍රදේශයේ පිහිටි ඉඩම රැකබලා ගැනීම සඳහා පත්කර සිටින බව කියන වර්ණකුලසූරිය මුදියන්සේලාගේ ඉහළගෙදර සංජීව අසේල නැමැති පුද්ගලයෙකු හට තමන් භුක්ති විඳිමින් සිටින රජයේ ඉඩමේ නිවස ඇතුළු සම්පූර්ණ ඉඩම තමන්ට ප්‍රතිකාර කරන නිසා පවරා දීමට තීරණය කළ බවත් ඒ අනුව මේ වනවිට ඉඩමේ ඇති සියලු ලිපි ලේඛන අයිතිවාසිකම් සියල්ල පවරා අවසන් බව පමිණී මහත්මිය පැවසුවාය.


එහෙත් මේ වනවිට ඉඩමේ අයිතිය වෙනත් පුද්ගලයකුට පැවරිමේ සිද්ධිය තොරතුරු දැනගැනීමේ පනත හරහා ජන ගත වීමත් සමග ඉඩම පැවරිම් කළ මෙම අසරණ පවුලට උදව් කිරීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයා මුදල් ලබා දීමෙන් වැළකී සිටින බවද ඇය පැවසුවාය. මෙම ඉඩමේ ඇතුල් පෙඩිගේ පද්මිණි මහත්මිය සහ ඇයගේ සැමියා වූ එච්.එම්. විමලසිරි යන දෙදෙනා පමණක් පදිංචි සිටිති. 


මෙම ඉඩමට සීගිරිය ගල දර්ශනය වන්නේ ඉතා අලංකාර අන්දමටය.  ආර්ථික දුෂ්කරතා මෙන්ම හෘදයාබාධයක් වැළදී ඇති මෙම යුවළ දැඩි අසනීප තත්ත්වයෙන් පෙළෙන අතර පද්මිණී මහත්මිය එක් තැන් වී සිටින්නීය. මේ දිනවල ආහාර පාන පවා අහිමි ව සිටි  මෙම දෙදෙනාට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා අවැසි ආහාරපාන ලබාදීම ලෝක කාන්තා දිනයේදී සිදුකළේය.  මෙම ඉඩමේ මීට පෙර හිමිකම් පැවරි තිබූ පමණි මහත්මියට කතා කිරීම සඳහා වෛද්‍ය උපදෙස් මත සීමා කර තිබිණි. එම නිසා සැමියා වූ එච්.එම්. විමලසිරි මහතා අප සමග මෙසේ පැවසීය.

“මේ ඉඩම මගේ බිරිඳ නමින් තමයි පැවරිලා තියෙන්නෙ. ඔක්කොම පර්චස් අනූවක් තියෙනවා. අපට කවුරුත් සලකන්නේ නෑ. ඒ වගේම අපි දෙන්නම ගොඩක් රෝගීන්. සංගක්කාර මහත්තයාගේ  ඉඩම අපේ ඉඩමට අල්ලපු ඉඩම. වැවත් එක්ක. මගේ බිරිඳ හැම තිස්සේම අසනීප වෙනවා. සංගක්කාර මහත්තයාගේ ඉඩම   බලාගන්න සංජීව මහත්තයා අපට උදව් කළා. කන්න බොන්න ගෙනත් දුන්නා. ලෙඩ දුකට බැලුවා. බෙහෙත් ගේන්න වාහන දුන්නා. එයා ගොඩක් උදව් කළා. ඒ උදව් කරපු නිසා තමයි ඉඩම පවරලා දෙන්න අපි දන්න කල්පනා කළේ.  අපි ලියකියවිලි ඔක්කොම ඒ මහත්තයට දුන්නා. ඒ මහත්තයා කිව්වා අපි දෙන්නා ට මැරෙනකල් ජීවත් වෙන්න සලකන්නම් කියලා. ඒ වගේම බෙහෙත් ටික අරගෙන දෙන්නම් කිව්වා. අපට  වෙන මොනවත් ඕනෑ නැති නිසා අපි කැමති වුණා.  හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ මේ ඉඩම වෙනත් කාටවත් පවරනවා කියලා. අපට ඒ බවක් කිව්වෙත් නෑ. අන්තිමට අපට උනේ සීගිරි ගල අපේ ඉඩමට දර්ශනය වෙන නිසා අපේ කරුමෙට අසනීප වුණු නිසාත් දැන් මෙලොව දෙයක් නැතිව හූල්ල වැටෙන්න විතරයි. අපි අසරණ වුණා. මෙම යුවළ දැක බලා ගැනීමටත් මෙම ඉඩම පිළිබඳව තොරතුරු  සොයා බැලීම සඳහා ඉඩමට පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙසේ පැවසීය.


බොහෝ දෙනෙක් මේ සිද්ධිය සමග දේශපාලනය කරන අපිට අපේ ඇමැතිතුමාට චෝදනා කරන්න පටන් ගත්තා. මේ සිද්ධිය ආරංචි වීමත් සමග වහාම ජනක බණ්ඩාර තෙන්නකෝන් අපේ ඇමැතිතුමා ප්‍රාදේශීය  ලේකම්වරුන් කැඳවලා දිස්ත්‍රික්කයේ ඉඩම් විකුණන එක වහාම නවත්වන්න කියලා උපදෙස් දුන්නා. මේක කිසිම දේශපාලන ප්‍රශ්නයක් සම්බන්ධයක් නැහැ. විශාලම ප්‍රශ්නය තියෙන්නේ මේ අසරණ පුද්ගලයන් දෙදෙනා ජීවත් වෙලා ඉන්න ඉඩමට අලංකාර ලෙස සීගිරිය දර්ශනය වීමයි.  සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න ඕනෑ. හෝටල් ඉදිවෙන ඕනේ. හැබැයි මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලි දීලා දේපළ කොල්ල කාලා නෙවෙයි..


වර්තමානයේ අම්මා තාත්තා පවා එළියට දාන යුගයක්. හැබැයි මේ අසරණ අම්මට තාත්තට ජීවත්වීමේ බලාපොරොත්තුව පමණක්ම ලබා දීලා ඉතා සූක්ෂම ලෙස මේ ඉඩම්   පවරා ගෙන තියෙනවා. ඒක මහා අපරාධයක්. හැබැයි ලියුම් කඩදාසියක්වත් ඒ දෙපළ ළඟ නැහැ.  මේ පිළිබඳව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා අපිත් ඉල්ලීමක් කරනවා.  මේ සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් අප විමසීමක් කළෙමු.

මේ අවුරුද්දේ ජනවාරි දෙවැනිදා තමයි මට දැනගන්න ලැබුණේ මේ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් කූට ලේඛන සකසලා තියෙනවා කියලා. කුමාර සංගක්කාර මහත්තයා දුරකතනය හරහා මට ජනවාරි 03 වැනිදා ඇමතුමක් ලබා දුන්නා. එතුමා කියා සිටියේ තමන් එච්.එම්.විමලසිරි සතු සීගිරි ප්‍රදේශයේ ඉඩමේ ආයෝජකයෙකු හඳුනාගෙන සිටින බවත් එම ආයෝජකයා හරහා ආයෝජන වැඩසටහනක් ආරම්භ කිරීමට මගේ අනුමැතිය වුවමනා බව. මම එතුමාට පෙරළා කියා සිටියා. මේ සඳහා මගේ අනුමැතියක් අවශ්‍ය නැහැ කියලා.  මම දන්නවා එතුමාට සීගිරියේ පෞද්ගලික ඉඩමක් තිබෙන විත්තිය පෞද්ගලික ඉඩම්වලට අපේ අවසරයක් අනුමැතියක් අවශ්‍ය නැති විත්තිය දැනුම් දුන්නා. පසුව එම අවස්ථාවේම කුමාර සංගක්කාර මහත්තයා සංජීව කියලා කෙනෙක් එම දුරකතනයටම සම්බන්ධ කළා. ඒ අනුව අපි තුන් දෙනාම දුරකතනයට සවන් දීම කතා කිරීම සිදුකළා.

සංජීව කියන කෙනා තමයි කිව්වේ ඉඩම කුමාර් සංගක්කාර මහත්තයාගේ පෞද්ගලික ඉඩම නෙවෙයි පසුගියදා පැවරූ ඉඩමක් සම්බන්ධයෙන් තමයි අනුමැතිය අවශ්‍ය වෙන්නේ කියලා. පසුව මම ඒ අයට කිව්වා මම කිසිම ආකාරයෙන් ඉඩමක් මෙවැනි අයට ලබා දී නැති විත්තිය. කෙසේ වෙතත් මම එදිනම ලේඛන පරික්ෂා කළා. මම දැක්කේ ව්‍යාජ ලේඛන, හැඳුනුම්පත් ආදී සියල්ල ලබා දීලා මගේ අනුමැතිය අරගෙන තියෙන විත්තිය.  මම එවෙලෙම කුමාර් සංගක්කාර මහත්තයට කතා කරලා කිව්වා.  මේ විශාල වංචාවක් මෙතන පවතිනවා. ඒ නිසා මං මේක සොයා බලනවා කියලා. ග්‍රාම  නිලධාරිවරයාගේ ක්‍රියාවලිය ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ දිස්ත්‍රික් ලේකම්තුමා වත් දැනුවත් කළා. ඒ අනුව ජනවාරි එකොළොස් වැනිදා අදාළ ලේඛන අත්සන් තැබූ ග්‍රාම නිලධාරිවරයාගේ සේවය අත්හිටුවා ග්‍රාම නිලධාරිවරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් මෙන්ම කුට ලේඛන සැකසීම සම්බන්ධයෙන්  මේ වනවිට පරික්ෂණ පැවැත්වෙනවා. මෙම ඉඩම් පැවරිමේදී ලිපි ලේඛන පරික්ෂා කිරීම අනුමත කිරීම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා බලය පවරා තිබූ දඹුල්ල ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරි ශානක වර්ණසූරිය මහතාගෙන් විමසීමක් කළෙමු.

මට පැවරුණු රාජකාරිය හරියටම ඉටු කරලා තියෙනවා. මේ ඉඩම් පවරා ගන්න කාත්තාව ඉදිරිපත් කොට තියෙන හැදුනුම්පත අනුව එවැනිම රූපයකට සමාන කෙනෙක් මගේ ඉදිරියට පැමිණිලා සිටියා. ඒ අනුව හැඳුනුම්පත සහ ඇයව සජීවී දර්ශනයවීමේ දී ලොකු වෙනසක් මට පෙනුණේ නෑ. ඒ නිසා මම අනුමත කිරීම් සිද්ධ කළා. දැනට වැඩ තහනමට ලක්ව සිටින දඹුල්ල ඉහළ ඇරෑවුල ග්‍රාම සේවා වසමේ සේවය කළ ග්‍රාම නිලධාරි ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා හමුවීමට ද අප අමතක නොකළෙමු.


ප්‍රශ්නය - මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර -  මම නීත්‍යනුකූලව රස්සාව කරල තියෙන්නෙ.

ප්‍රශ්නයඃ- එතකොට ඔබ පදිංචි සහතිකය ලබා දුන්නු කාන්තාව පදිංචිය කොහෙද?

පිළිතුර:- මට පදිංචිය පෙන්නුවේ එහේ පදිංචිය තියෙනවා කියලා

ප්‍රශ්නය:- ඔබතුමා ඇය පදිංචි නිවසට ගිහිල්ලා තියෙනවද

පිළිතුර- ගිහිල්ලා නෑ. මම මේ වසමට වැඩ බාර අරගෙන මාසයක වගේ කාලයක් තමයි ගත වෙන්නේ. වසම ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.

මට හැඳුනුම්පත බැලුවම ඒකේ ලිපිනය තියෙනවනම් වෙන ගැටලුවක් මම දැක්කෙ නෑ.



ප්‍රශ්නය:- එතකොට ඔබතුමා මේ කාන්තාව සොයා බලන්නේ  නැතුව ආදායම් වාර්තා වූ පදිංචි සහතිකය කොහොමද දුන්නෙ මහත්තයාගේ නම පවා දාලා තිබුණා

පිළිතුර-  ඔව් ඇත්ත ඡන්ද නාම ලේඛනයේ ඒ මේ වගේ නමක් තිබුණෙ නැහැ. මම කිව්වා පදිංචිය හැර යෑමේ ලියුමක් ගේන්න කියලා. ඒ ලියුමේ තිබුණ දේ ලිව්වේ .

ප්‍රශ්නය:- පදිංචිය හැර යාමේ ලියුම කොහෙන්ද ගෙනාවේ.

පිළිතුර:- මට ඒක දැනට මතක නැහැ. මුල් පරික්ෂණයේදී මට එක පෙන්නන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය - පදිංචිය හැර යෑමේ ලේඛන ටික අර ගෙනාවෙ ඔය කියන කාන්තාවද?.

පිළිතුර:- නැහැ. මේ ලේඛන ටික අරගෙන ආවේ මං අඳුරන කෙනෙක්. මම මේ ලේඛනවල සඳහන් කරලා තියෙනවා එතුමිය ස්ථිර පදිංචි නෑ, තාවකාලික පදිංචි කියලා.

ප්‍රශ්නය:- හරි මෙන්න එම ලියවිලි. මට පෙන්නන්න ඔබතුමා එහෙම ලියලා තියෙන තැනක්. (මේ ලේඛන තොරතුරු දැනගැනීමේ පනත හරහා අප ලබාගත් ලේඛන පරික්ෂා කරයි)

පිළිතුරා- ආ මෙච්චර ද ලියකියවිලි තිබුණේ. මේකෙ නම් සඳහන් වෙලා නෑ තමයි.

ප්‍රශ්නය:- ජනපද නිලධාරි තුමා කිව්වා මේ වගේම කාන්තාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැන්දන් ආවා කියලා

පිළිතුර:- ඒක මම දන්නේ නැහැ. මට කොහේවත් දැනුම් දීල නෑ  එතුමා අබිමුවේ කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය:- එතකොට යෙහෙලි පීරිස් කියන කෙනා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර කියන අය හමුවෙලා දැකලා තියෙනවද

පිළිතුර:- නැහැ. මම එතුමා දැකලා තියෙන්නේ රූපවාහිනියෙන් විතරයි. ළඟට හමුවෙලා කතා කරලා දැකලා නැහැ.

ප්‍රශ්නය:- මෙම ලේඛන ලබාදුන් පුද්ගලයා හඳුනනවා ද?

පිළිතුර:- ඔව්. මම එයාව දන්නවා. අපේ ගෙවල් ළඟ පදිංචි  වෙලා ඉන්න කෙනෙක්. මං විශාල කාලයක් තිස්සේ එයා හොඳට අඳුරනවා.

 ප්‍රශ්නය:- එතුමාගේ ඉල්ලීම් මත ද මේක කළේ?

පිළිතුර-  මට එතුමා විශ්වාසයක් තිබුණ නිසා තමයි අස්සන් කරලා දුන්නේ.

 ප්‍රශ්නය- ග්‍රාමසේවක මහත්තයා පදිංචි සහතිකයක් ආදායම් සහතිකයක් ලබා දෙන කොට අඩුම තරමේ තමන් ග්‍රාම නිලධාරිවරයා හැටියට සොයා බලන්නේ නැතුව නිකුත් කරනවද කනෙක් ලේඛනයක් ඉදිරිපත් කරලා ඉල්ලීමක් කළ පමණින්.

පිළිතුර- ලිඛිත සාක්ෂි තිබුණනෙ පදිංචිය හැර යාමේ කඩදාසි වල ඒක තමයි ආදායම, රැකියාව ගොවිතැන කියලා සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා තමයි මම එක ලිව්වේ.

ප්‍රශ්නය:- හොඳයි මට පුළුවන්ද එම ලිපිය ලබා දෙන්න

පිළිතුර - ඒක මං පරික්ෂණයකට ඉදිරිපත් කරන්නම්

ප්‍රශ්නය- :මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා සඳහන් ආණ්ඩුකාරතුමා චෝදනා කරලා තිබුණා ඔබගේ ළමයෙක් ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් කර ගැනීමේ සිද්ධියක් මොකක්ද එක?

පිළිතුර:- නැහැ මගේ ළමයි කිසිම කෙනෙක් මහනුවර ප්‍රදේශයේ පාසල්වල යන්නේ නැහැ. ඒක බොරුවක්. මොකද මගේ එක දුවක් විතරයි දැනට අධ්‍යාපන කටයුතු කරන්නේ. එවැනි දෙයක් සිද්ධ වෙලා නැහැ.

මෙහිදී අප දුරකතනය හරහා කුමාර සංගක්කාර මහතාගේ ඉඩම රැක බලා ගැනීම සිදු කරන මෙන්ම ඉහත ඉඩම පවරාදුන් දෙපළට උදව්පදව් කිරීම සඳහා පොරොන්දු වී සිටි දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ පදිංචි වර්ණසූරිය මුදියන්සේලාගේ ඉහළගෙදර සංජීව අසේල් වර්ණකුලසූරිය මහතාගෙන් විමසීමක් කළෙමු. මෙම ඉඩම් පැවරිමේ දී සාක්ෂිකරුවන් ලෙස ඔහු අත්සන් තබා තිබීම ද විශේෂත්වයකි.  මේ අසරණ පවුලට මම උදව් කළා. ඒ අය මට වැඳ වැටිලා කිව්වා ජීවත් වෙන්න ප්‍රතිකාර කරන්න උදව් කරන්න කියලා. ඒ නිසා තමයි මම උදව් කළේ. ඒ වගේම මට කිව්වා මේ ඉඩම අරගෙන සල්ලි දෙන්න කියලා. ඒ අනුව තමයි මම ඒ අයට උදව්වක් වශයෙන් මේක කළේ.


මම තවත් කෙනකුට උදව් කරන්න ගිහිල්ලා තමයි අමාරුවේ වැටිලා තියෙන්නෙ . මේ මැඩම් මම අවුරුදු 10 ක කාලයක් තිස්සේ අඳුරනවා. ඒ නිසා තමයි ඉඩම එතුමියට පවරලා දෙන්න තීරණය කළේ. ගමේ අසරණ යුවළට උදව්පදව් කරන්න ඒ මැඩම් තමයි මට මිල මුදල් දුන්නේ . ඒ නිසා එතුමියගේ නමට මේ ඉඩම පවරලා දෙන්න කියලා කණ්ඩලම ප්‍රදේශයේ ඉන්න වර්ණසූරිය කියන අයටයි සෙනවි කියන කෙනෙකුටයි බාර දුන්නා. මම ඉල්ලීමක් කළා. මේකට මැදිහත් නොවී ඒ අය තමයි සියල්ල පවරලා ලියවිලි හදලා අපට ලබා දුන්නේ. මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ.  අප මෙම ලියකියවිලි සඳහා දෙවැනි සාක්ෂිකරු ලෙස ඉදිරිපත්ව සිරි මෙන්ම සංජීව අල්ල මහතා ලිපි ලේඛන සියල්ල බාර දුන් බව කියන වර්ණසූරිය මුදියස්ලාගේ අලුත් ගෙදර වර්ණසූරිය මහතාගෙන් මේ බව දුරකතනය හරහා විමසුවෙමු.

මට එහෙම ලියකියවිලි බැදීමක් සිද්ධ වුණේ නැහැ. ඒක තනිකර බොරුවක්. මොකද මමත් තව කෙනෙකුත් ඉඩම් බ්‍රෝකර් වැඩ කරනවා. ඒ නිසා අපේ ගමේ අහල පහළ අය නිසා අඳුරනවා. මට කිව්වේ මේ කඩදාසියට සාක්කි අත්සන් කරන්න කියල විතරයි. මට කිසිම ආකාරයකින් ලියවිල්ලක් මේ සිද්ධියට සම්බන්ධයෙන් මගේ මැදිහත් වීමක් නෑ. මම අක්කර සිය ගණන් වලට පවා අස්සන් කරලා තියෙනවා. අපි ඉඩමක් විකුණලා කීයක් හරි හොයාගන්නවා. එහෙම නැතුව කම්කට මගේ කිසිම සම්බන්ධයක් නෑ.

කෙසේ වෙතත් මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා සීගිරි ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් හෙළිදරව් වීමත් සමග මෙම ඉඩම් ගනුදෙනුවකට ගෑවී ඇති ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාගෙන් අප විමසීමේදී ඔහු මෙම ඉඩම් පැවරිම සම්බන්ධයෙන් 2021 ජනවාරි විසිඑක් වැනිඳු ඉඩම් කොමසාරිස් ලක්මාලි ජයසිංහ මහත්මියගේ අත්සනින් යුතුව ලිපියක් අප වෙත එවා තිබිණි.

එහි මෙසේ සඳහන්ව තිබේ. උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් යොමු කරන ලද 2021.01.05 දිනැති ලිපිය හා බැදේ. ඒ අනුව වගකිවයුතු පුරවැසියකු ලෙස මෙහි කර ඇති අවංක ප්‍රකාශ පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන අතර, යථා කාලයේ දී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡා කර ගැනීමට කටයුතු කරන බවත් කාරුණිකව දන්වමි යනුවෙන් එහි සඳහන්ව තිබේ. ලිපිය යොමු කොට ඇත්තේ කුමාර සංගක්කාර, යෙහාලි සංගක්කාර යන දෙදෙනා වෙතය.

 -කාංචන කුමාර -

sangakkara land