kumar sangakkara

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් පවරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට සහ බිරිඳට එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ඉදිරියේදී නිල ප්‍රකාශයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා  පැවැසීය.   කුමාර් සංගක්කාර මහතා මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයක පළකර තිබූ සටහනක් පිළිබඳව  කළ විමසුමකදී ඔහු මෙසේද කීය. 

“මම සිද්ධිය පිළිබඳව තනි තනි පුද්ගලයන්ට ප්‍රකාශ කරන්න ගියාම ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මා ඉතාමත් ඉක්මණට මෙම සිද්ධිය ගැන නිල නිවේදනයක් නිකුත් කරනවා.


ඉඩම් කොමසාරිස්තුමාට මෙම සිද්ධිය ජනවාරි මාසේ පැමිණිලි කළේ මම. ඉඩම් කොමසාරිස්තුමා නිකුත් කරලා තිබුණ ලිපියෙන් එය පැහැදිලි වෙනවා. එතුමාගෙන්  විමසුවහොත් දැනගන්න පුළුවන් පැමිණිල්ල කළේ කවුද කියලා.  මම වැරැද්දක් කළා නම් කරබාගෙන ඉන්න එපැයි.. පරික්ෂණයක් ආරම්භ කළේ මගේ පැමිණිල්ල නිසයි. මම සද්ද නැතිව හිටියා නම් ඕක කවුරුත් දන්නෙත් නෑ. එහෙම වුණා නම් මෙය රහසක් විදියට අවුරුදු ගාණක් තියෙයි.. මම හිතන්නේ ජනවාරි මස මෙම සිද්ධිය පිළිබඳව මම පැමිණිල්ල කළ විගස පරික්ෂණයක් ආරම්භ කළා. මම දත්ත විදියට පරීක්ෂණය අවසන් කරලා තියෙන්නේ.  මම පැමිණිලි කළ ලිපිලේඛන සහ තවත් ලේඛන මා සතුව තිබෙනවා. මාධ්‍යවල පළකිරීමට පෙර මගෙන් විමසුමා නම් සත්‍ය තත්ත්වය පැහැදිලි කරන්න තිබුණා” යැයි ද සංගක්කාර මහතා පැවසීය.


-යොහාන් බාසුරු-