sasheendra-rajapaksa

බිබිල මැදගම ප්‍රදේශයේ පෙරේදා (21) පැවැති උත්සව කීපයකට සහභාගි වී අධික වර්ෂාව මධ්‍යයේ නැවත මොනරාගල දක්වා පැමිණෙමින් සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් රථය  මැදගම පුබ්බාර සපත්තු පාලම මත දී පුබ්බාර  ඔයේ ජලපහරට හසුව ගසාගෙන ගොස්  ඇතැයි මැදගම පොලිසිය පවසයි.  

අනතුරෙන් ඇමැතිවරයාට කිසිදු හානියක් සිදුවී නැතැයි පොලිසිය කියයි. මෙම අනතුර පෙරේදා (21) පස්වරු 6.45  පමණ සිදුවී තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බිබිල මැදගම ප්‍රදේශයේ පෙරේදා (21)  පැවැති උත්සව කීපයකට සහභාගි වී නැවත  පුබ්බාර හරහා මොනරාගල බලා පැමිණෙමින් සිටිය දී පුබ්බාර ප්‍රදේශයේ දී  මෙම අනතුරට ලක්ව ඇත.


පොලිසිය පවසන්නේ ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා පුබ්බාර ඔයේ ජලය මැදගම මොනරාගල මාර්ගය හරහා වැටී ඇති සපත්තු පාලම මගින් ප්‍රචණ්ඩ  ලෙස ගලාගෙන යද්දී ඇමැතිවරයා ගමන්ගත් රථය ඒ මගින් ගැනීමට උත්සාහ කිරීමේ දී පුබ්බාර ඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි.  කෙසේ නමුත් සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඇමැතිවරයා ගමන්ගත් රථ සපත්තු පාලමේ සිට මීටර් 10ක් පමණ පහළින් පුබ්බාර ඔයේ රැඳී තිබිය දී  ඇමැතිවරයා ආරක්ෂිත ලෙස ගොඩට ගෙන මොනරාගල සිරිපාල ප්‍රදේශයේ ඇති ඇමැතිවරයාගේ නිවසට ගෙනත් ඇරලීමට කටයුතු කර ඇත. මෙම සිද්ධියෙන් ඇමැතිවරයාට හෝ එහි  රියැදුරාට කිසිදු අනතුරක් සිදුවී නැතත් ඇමැතිවරයාගේ ජීවිතය ගැලවුණේ අනුනවයෙන් බව පුබ්බාර ප්‍රදේශවාහු කියති.




සිද්ධිය සම්බන්ධව ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. මට හිතා ගත්තත් බැරි විදිහට තමයි මේ සිදුවීම වුණේ. මම බිබිල ප්‍රදේශයේ ජනතා සේවයක් ඉටු කරලා එන අතරතුර දී හරියට සුනාමියක් වගේ එකපාරටම පාරෙන් ජල කඳක් ආවා. ජීප් රථය කැරකුණා. මම දැන ගත්තා අනතුරක් කියලා. මම රියැදුරාටත් මගේ සහයකයාටත් කිව්වා පැනගන්න කියලා. මම අමාරුවෙන් අඩි 4ක් විතර ජල කඳට පැන්නා. ජීප් රථය අඩි 100 ක් පමණ දිය යටින් ගහගෙන ගියා. පස්සේ පැයකින් පමණ තමයි ජීප් රථය ගහක පැටලිලා සොයා ගත්තේ යනුවෙන් ඔහු  පැවසීය.


මම මේවාගේ අත්දැකීමට කවදාවත් ලක්වෙලා නෑ. මම කතරගම දේවාලයේ බස්නායක නිලමේ විදිහට කතරගම දෙවියන්ට කළ සේවය නිසා කතරගම දෙවියෝ තමයි මා බේරාගත්තේ. මෙය මට අමතක නොවන සිදුවීමක්. හරි ත්‍රාසජනකයි. මීට අමතරව කොටි යුද්ධය කාලයේ කතරගම මම ගමන්ගත් පෙරහරේ දී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු මගේ ආරක්ෂක අංශවලට හසුවුණා. කතරගම දෙවියෝ නිසා තයි මම එදත් බේරුණේ යනුවෙන් ඔහු මාධ්‍යයට පැවසීය.