මාර්තු 15 වැනිදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කළත් පාසල්වලට අවශ්‍ය කෝවිඩ්19 වෙරසයට අදාළ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.  කෝවිඩ්-19 තත්වය තුළ පාසල් සිසුන්, ගුරුවරුන් පාසල් තුළදී දෑත් සේදීම කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය විෂබීජනාශක දියර වර්ග මෙතෙක් ලබාදී නොමැති බවත් එම සංගමයේ ලේකම්  ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.



කෝවිඩ්-19 එන්නත ලබාදීම යටතේ පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට එන්නත් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියත් ඒ සඳහාද අධ්‍යාපන බලධාරීන් හෝ සෞඛ්‍ය බලධාරීන් නිසි වැඩපිළිව්වෙළක් සකස් නොකළ බවද ඒ මහතා පවසා සිටියේය.  කෝවිඩ්-19 තත්ත්වය තුළ බස්නාහිර පළාත් පාසල්වල ශ්‍රේණි තුනක් හා සෙසු පළාත්වල පාසල් මෙම මස 15 වැනිදා ආරම්භ කරන බවත්, මේ නිසා අදාළ පාසල් මූලික කරගනිමින් කෝවිඩ්-19 වෙරසයට අදාළ සෞඛ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

කෝවිඩ්-19 තත්වය තුළ පසුගිය වසරේ මාර්තු 13වැනිදා පාසල් වසා දැමූ බවත්, මේ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර බස්නාහිර පළාත තුළ පිහිටි සෙසු පන්ති ක්‍රමානුකූලව ආරම්භ කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ජෝසප් ස්ටලින් මහතා පවසා සිටියේය.

 - ඉන්දික හේවාවිතාරණ-