ෆෙස්බුක් හා අන්තර්ජාලයේ විවිධ පිටු හරහා උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට ව්‍යාජ ලෙස පෙනී
සිටිමින් මහජනයා මුළාකරමින් විවිධ වංචා සහගත ක්‍රියාවන්හි නිරත වීමට උත්සාහ කළ පුද්ගලයකු
පන්නිපිටිය, පොල්වත්ත  ප්‍රදේශයේදී පෙරේදා (15දා) රාත්‍රියේදී  අත්අඩංගුවට ගත් බව බස්නාහිර
පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

අපරාධකරුවන් හා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අතරතුර පුද්ගලයකුගෙන් ලැබුණු
තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

වට්ස් ඇප්, ඉමෝ හා වයිබර් මෙන්ම මුහුණු පොත හරහා ඡායාරූප මුදාහරිමින් තමන් ශ්‍රී ලංකා පොලිසියේ
උප පොලිස් පරීක්ෂකවරයකු හැටියට සේවය කරන බව මෙම පුද්ගලයා කිහිප වතාවක්ම මිතුරන්ට හා
සමාජයේ විවිධ පුද්ගලයන්ට දැනුම් දී ඇති බවත් මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පැවැසීය.

විවාහක අයෙක් වන මෙම පුද්ගලයා රැකියාව වශයෙන් ගොඩනැඟිිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෞද්ගලික
ආයතනයක රියැදුරකු වශයෙන් රැකියාව සිදුකරන බව අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.



  අත්අඩංගුවට පත් වූ සැකකරු සන්තකයේ තිබී සොයාගත් පොලිස් නිල ඇදුමක් හා ව්‍යාජ   ආකාරයෙන්
පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව  පොලිසිය පැවැසීය.

සැකකරු ඊයේ (16දා) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  වරද පිළිගත්
බැවින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නුගේගොඩ අධිකරණයේ මහෙස්ත්‍රාත්
ප්‍රසන්න අල්විස් මහතා නියෝග ලබාදී  තිබිණි.



සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන්, බස්නාහිර පළාත දකුණ  භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර දකුණ අපරාධ
කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරී 01 රොහාන්
පෙරේරා යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩබලන
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්. මුණසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක
හේමන්ත කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්  සුනිල් (59951) බණ්ඩාර (21284), පොලිස්
කොස්තාපල් කුමාර (84762) යන නිලධාරීහු විසින් පවත්වනු ලබති.


බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ, කොළඹ - ජයසිංහ, කිරුපන - චතුර දේශාන් ලියනගේ