තරුණියක මරාදමා ගෙල වෙන් කර කවන්ධ සිරුර බෑගයක දමා අතැර ගොස් පසුව සියදිවිනසාගත් බුත්තල උපපොලිස් පරීක්ෂක ප්‍රේමසිරි පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළ අපකීර්තිය හේතු කොට ඔහුගේ දේහයට පොලිස් ගෞරව ලබා නොදීමට තීරණය කර ඇති බව නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

ඔහුගේ නිල ඇඳුම ඇන්දවීම ද සිදු නොකරන බව ද පැවසිණි.  යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටිය දී මියගිය පසු හෝ සිය දිවිනසා ගැනීමක් සිදුකරගතහොත් එවැනි නිලධාරියකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇන්දවීමක් හෝ සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
තරුණියක ඝාතනය කර සිය දිවි නසාගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කිසිදු පොලිස් නිලධාරියකුව සහභාගි නොකරන බව මොණරාගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කළ විමසීමක දී කීය.
තරුණිය ඝාතනය කර සිය දිවිනසාගත් බඩල්කුඹුර වේරගොඩ පහේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උපපොලිස් පරික්ෂක ඒ.එච්. ප්‍රේමසිරි (52) නමැත්තාගේ සිරුර මේ වන විට මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.  ප්‍රේමසිරි නමැත්තාගේ සිරුර පීසීආර්. පරීක්ෂණයකට
පෙරේදා ලක්කර ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් සිරුර මෘත ශරීරාගාරයේ තබා තිබේ.

සිය දිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය සිය සැමියාගේ දේහය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව පොලිසිය කියයි. යම් ලෙසකින් මොහුට පීසීආර් පරික්ෂණ වාර්තාවෙන් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් සිරුර පවුලේ අයට බාර නොදී නිරෝධායන නීතිරීති යටතේ සිදුකරන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. ඌව සහ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මොනරාගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ විශේෂ උපදෙස් මත බඩල් කුඹුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිල් ශාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය