පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ ඇගේ පොලිස් පෙම්වතා ඇගේ හිස සහිත කොටස බෑගයක දමා බඩල්කුඹුර සිය නිවෙසට රැගෙන ගොස් ඇති බවට මතුවූ සැකයක් මත ඔහු පදිංචි නිවෙසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමුවූ “ලේ බින්දු” මරා දැමුණු තරුණියගේ දැයි සැකකරන පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇත. 



එම ලේ බින්දු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේත් සමඟ සැසඳුණොත් මියගිය පොලිස් පෙම්වතා
ඇගේ හිස කොටස සිය නිවෙසට ගෙනැවිත් ඇති බවට තහවුරු වන බව වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත්
පේදුරුආරච්චි මහතා කීවේය.

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි, ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද,
වේල්ලවීදිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්
මේ පිළිබඳ විමර්ශන ඇරැඹීම සඳහා බඩල්කුඹුර බලා පිටත්ව ගියහ.

ඒ මරාදැමුණු තරුණියගේ හිස කොටස මියගිය පොලිස් පරීක්ෂකවරයා විසින් බෑගයක දමාගෙන සිය නිවෙසට ගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු අනුව විමර්ශනයක් ඇරැඹීම සඳහාය.

මෙලෙස බඩල්කුඹුරට ගිය මෙම කණ්ඩායම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙසට හා ඔහුට අයත් වත්තද
පරීක්ෂා කරන්නට වූහ.

“මේ පොලිසියේ නිලධාරියාගේ ඉඩමේ උඩ කොටස එයා පුතාට ලියලා දීල තියෙන්නේ. ඒකේ ඒ පුතා
ගෙයක් හදනවා. එකම ඉඩම වුණත් දෙන්නගේ ඉඩම වෙන්වෙන්න වැටක් ගහලා තියෙනවා. ඒ වෙන්වෙන
තැනක තියෙනවා කෙසෙල් පඳුරු. ඒ පඳුරේ තියෙන එක කෙසෙල් ගහක් යට පරණ පොල්අතු වගයක් දමලාතියෙනවා.


ඒවායේ එක් පොල් අත්තක මුල කොටසේ ලේ බින්දු හය හතක් තියෙනවා. එතැන ලේ තියෙන්න
විධියක් නැහැ. අපි තවදුරටත් ස්ථානය නිරීක්ෂණය කරද්දී පෙනුණා ලේ තියෙන තැන තණකොළ තැළිලා
වගේත් තියෙනවා. අපි හිතන්නේ එතැන බර දෙයක් තියලා තියෙනවා. සමහරවිට කෙල්ලගේ ඔළුව දාගෙන
ආව බෑග් එක එතැන තියලා පස්සේ අරගෙන ගියාද දන්නේ නැහැ. ඒ හින්දා අපි ලේ බින්දු ඩී.එන්.ඒ.
එකකට දානවා ඒක අර ගැහැනු ළමයාගේද කියා ස්ථීරවම දැනගන්න.”

ප්‍රධාන පොලිස් පරීක්ෂක පේදුරුආරච්චි මහතා සඳහන් කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයා තරුණියගේ ගෙල සහිත කොටස බිරියට
පෙන්වීමට හෝ සැඟවීමට හෝ සිය නිවෙසට ගෙන ආවේද යැයි දැන ගැනීමට ඔහුගේ බිරියගෙන් හා
පුතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවය.

මේ අතර තම පෙම්වතිය හිසසුන් මළකඳ වේල්ලවීදියේ තබා මොනරාගල බලා යන බසයක ගොස් බුත්තලින්
බැසගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට පැමිණ ඇත්තේ ඥාති තරුණයකු සමඟිනි. ඒ ඔහුගේ
යතුරුපැදියේ නැඟගෙනය. නිලධාරීන් ඔහු ඇතුළු තවත් කිහිප දෙනකුගෙන්ද ප්‍රශ්න කළේය. ඒත් තවමත් හිස
සොයා ගැනීමට හැකිවී නැත.


කීර්ති මෙන්ඩිස්