සිංහරාජ වනාන්තරය ආසන්න රක්වානේ ඉඩමක ඉදිකෙරෙන ගොඩනැගිලි, හෝටලයක් නොවන බවත් එහි ඉදිකෙරෙන්නේ නිවාස තුනක් බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා පැවැසීය. එම නිවාස ඉදිකිරීම් සඳහා රක්වාන ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාගෙන ඇති බවත් එම ඉදිකිරීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු මැදිහත්වීමක් සිදුකළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
යම් හෙයකින් එහි නිවාස ඉදිකරන බව පවසා හෝටලයක් හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉදිකිරීමක් සිදුකරන්නේ නම් එය තහනම් කිරීමට පියවර ගත හැකි බව ද සභාපතිවරයා කියා සිටියේය. කාමර විස්සකට වඩා වැඩි නම් කෙළින්ම තම අධිකාරියට තහනම් කළ හැකි යැයි ද ඔහු පැවැසීය. එක්තරා ව්‍යාපාරිකයකුගේ යැයි කියමින් එකම පවුලේ සහෝදරයන් හතර දෙනකු මෙසේ නිවාස ඉදිකරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සොයා බැලීම්වලදී හෙළි වූ බවත්, එය තේ වවා තිබූ ඉඩමක් බව එහිදී හෙළි වූ බවත් ඔහු කීවේය.
හෙක්ටයාරයකට වඩා හෙළි පෙහෙළි කරන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ගත යුතු නමුත් එවැන්නක් සිදු නොවන බැවින් අවසර ගත යුතු නැතැයි ද ඔහු කියා සිටියේය. රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි පරිසරවේදීන් ඉල්ලා සිටින මෙම රක්ෂිත තීරුවේ පවුල් 135ක් පදිංචිව සිටින බවත් වන රක්ෂිතයක් ලෙස එය අතහැර ඇත්තේ ඒ නිසා බවත් හෙතෙම සඳහන් කළේය.
-විනීතා එම්. ගමගේ-
0 Comments