sirimawo bandaranayake Nuga tree

ගම්පහ  දොරළුව, දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ රෝපණය කර තිබු ඉන්දියන් නුග ගස මුලට පෙරේදා 27 රාත්‍රී ගිනි තැබීමේ සිද්ධි සමිබන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඊයේ 28 සවස අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.
 ඉන්දියන් නුග ගසේ මුල කොටසට ගිනිතැබීමෙන් මුල කැඩී ගස පාර හරහා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය ඊයේ (28) පෙරවරුවේ ඇන හිට තිබිණි. ඒ ආසන්නයේම වූ අනෙක් නුග ගසට ද ගින්නෙන් හානි වී තිබෙනු දැකිය හැකි විය ..1995 වසරේදී දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම මත ඇල් ඕයේ කෙටවල වෙල් යායේ ඉදි කෙරුණු ජපන් මිත්‍රත්ව පාලම 1996.8.31 දින එවකට අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් විවෘත කරන ලද අවස්ථාවේදී රෝපණය කරන ලද නුග ගසක් මෙසේ ගිනි තබා විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

එම අවස්ථාවේදී මාර්ගය දෙපස මෙම වර්ගයේ නුගපැළ පහක් ඇතුළු ගස් ගණනාවක් රෝපණය කරන ලදැයිද එම නුග ගස්වලින් තුනක් මියයාමෙන් පසු ඉතිරිව තිබු ගස් දෙකෙන් එක් ගසක් මෙසේ විනාශ කර දමා ඇතැයිද ජනතාව සඳහන් කළහ.මෙසේ ගිනි තබා විනාශ කර ඇති නුග ගස පිහිටා ඇත්තේ අධිවේගී මාර්ගයේ සීමාවේ පිහිටි කෘඩියා සෙලනිකා ගස පිහිටි ස්ථානයට මීටර් දෙතුන් සියයක් ආසන්නයේ වීමද විශේෂත්වයකි. දින කිහිපයකට පෙර මෙම ගස මුලට ප්ලාස්ටික් බෝතල් දමා ගිනි දල්වා තිබූ බවත්, ඒ දුටු පාලම ආසන්නයේ පදිචිව සිටින ආබාධිත රණවිරුවන් ඇතුළු ජනතාව එම ගින්න නිවා දමා ඇති බවත් එසේ තිබියදී පෙරේදා 27 රාත්‍රියේ යළිත් ගිනි තැබීමෙන් මෙම විනාශය සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කළහ. මග දෙපස දර්ශනීයත්වය සඳහාත් මාර්ගයේ ආරක්ෂාව සඳහාත් සිටුවා තිබූ මෙම ගස විනාශ කිරීමට විරෝධය පළ කරන ජනතාව පාර හරහා වැටී තිබූ ගස ඉවත් කිරීමෙන් වැළකී සිටීමටද කටයුතු කරනු ලැබීය.

මාර්ග අවහිරය නිසා ඒ ආසන්නයේ පදිංචිව සිටින ආබාධිත රණවිරුවන් ඇතුළු ජනතාව සිය අවශ්‍යතා සඳහා ගමනාගමන පහසුකම් සලසා ගැනීමේ ගැටලුවකටද මුහුණ පා සිටියහ. සිහිවටනයක් සඳහා ඉන්දවා තිබූ නුග ගස ගිනි තබා විනාශ කර පාරිසරික විනාශයක් සිදුකළ පුද්ගලයා සොයා නීතිමය පියවර ගත යුතු බව ජනතාව දැඩි සේ අවධාරණීය කළ අතර සිද්ධිය සැලවීමෙන් පසු එම ස්ථානය පැමිණි ගම්පහ පොලිසියේ නිලධාරින් සිදුකළ පරික්ෂණයේ දී හෙළි වූ තොරතුරු මත මෙම ගස ගිනි තබා බිම හෙළා ඇතැයි කියන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. ගිනි තබා විනාශ කරන ලද ඉන්දියන් නුගගස පිහිටි ස්ථානයේ ඉඩමක් අත් අඩංගුවට ගත් නිලධාරියාට අයත් එකක් බවට හෙළි වී ඇතැයිද පොලිසිය කීය.

(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි )