sri lanka bank in china

රටවල් කීපයක පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන සඳහා රැගෙන යන මැණික් ආරක්ෂිතව තැන්පත් කිරීමටත් විනිමය හුවමාරු සඳහා චීනයේ ශ්‍රී ලාංකික රාජ්‍ය බැංකුවක් ස්ථාපිත කිරීමටත් මැණික් හා කර්මාන්ත ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.



චීනය, හොංකොං හා තායිලන්තය යන රටවල මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනවලදී සිදුවන අක්‍රමිකතාවලට විසඳුමක් ලෙස මෙම බැංකුව ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය බැංකු හා මහ බැංකුව සමග රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ගේ සංගම් 10ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශකයන්ගේ සංගමයේ ලේකම් චමින්ද විජේරත්නගෙ යෝජනාවක් මත මෙම බැංකුව ස්ථාපිත කිරීමට තීරණය වී ඇත.

මැණික් අපනයනයේදී 14%ක බද්දක් අයකරන අතර එය අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ වසරේදී මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබාගැනීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි. ඒ සඳහා විශේෂ ව්‍යාපෘති කීපයක් ආරම්භ කර ඇත. එමෙන්ම ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් ජූනි මාසයේදී හම්බන්තොටදී පැවැත්වීමටද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විපුල ජයසේකර පවසයි.

හෂිනි කුලතුංග