sunil-handunnethi-speaks

ආණ්ඩුව වැඩ කරන්නේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා න්‍යයට අනුවයි. ආනයනික පොල්තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් තොරව ඒවා ගෙන්වූ සමාගම්වල ගුදම්වලට නිදහස් කිරීමෙන් පෙන්වන්නේ ඒ ස්වරුපය යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (30) වැනිදා පැවසීය. හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී ඔහු මෙසේද පැවසීය.ජනතාවට සාධාරණ මිලකට ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීම රජයේ වගකීමයි. කාලයක් කිරිපිටිවල විෂකාරක තිබෙනවා කියලා මහා ආන්දෝලනයක් ඇති වුණා. ඊට පස්සේ සැමන්වල ආසනික් තියෙනවා කියලා කතාවක් ආවා. මේ සේරම කාලා බීලා මිනිස්සු ලෙඩ වුණාම බොන්න තියෙන බෙහෙත් ටිකක් කල් ඉකුත් වෙලා නම් කවුද මේවට වග කියන්නේ?පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් වගකීම භාරගන්න කෙනෙක් නැහැ. දැන් ඉදිරියේදී වස විස නැති පොල්තෙල් කියලත් බෝඩ් එකක් වෙළෙඳසල් ඉදිරිපිට ප්‍රදර්ශනය වේවි. ආණ්ඩුව මෙවැනි දේවල්වලදී කටයුතු කරන්නේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියන න්‍යාය අනුවයි. මේක ජනතාව දැන ගත්ත නිසා තමයි මහා ආන්දෝලනයක් ඇති කරමින් පරීක්ෂණ කරන්න ගත්තේ.

මේ සම්බන්ධයෙන් හරි පරීක්ෂණයක් කරන්නත් කලින් බන්දුල ඇමැතිවරයා කියනවා මේවා වහාම ප්‍රතිඅපනයනය කරන්න කියලා. දැන් මේවා ආපහු යැවීම නෙවෙයි ප්‍රධාන අවශ්‍යතාව, මෙවැනි විෂකාරක සහිත පොල්තෙල් වෙළෙඳපොළට ගිහින් තිබෙනවා නම් ඒ ගැන සෙවිය යුතුයි. ප්‍රමිති ආයතනයෙන් සහතික ලබාගන්න කලින් මේ පොල්තෙල්, අයිතිකාරයන්ගේ ගුදම්වලට නිදහස් කිරීමෙන් ඒවා වෙළඳපොළට යන්න ඉඩ නැද්ද?පොල්තෙල් ප්‍රශ්නය එළියට ආවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ආරක්ෂණ අංශයෙන්. දැන් තමයි හොයන්නේ මේවා එළියට ගිහින්ද නැද්ද කියලා. කොයිතරම් ප්‍රමාණයක් එළියට ගිහින්ද නැද්ද කියලා දන්නේ නැහැ. ජනතාවට දැන් ප්‍රශ්නයක් තිබෙනවා තමන් දැන් අලුත් අවුරුද්දට කැවුම් කොකිස් හදන්නේ වස විෂ සහිත පොල්තෙල්වලින්ද නැද්ද කියලා. ආණ්ඩුව ජනතාවගේ පැත්තේ හිටගන්නේ නැතිව තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ පැත්තේ හිටගෙන ඔවුන්ට ඕනෑ හැටියට වැඩ කරගෙන යත්න ඉඩ දීලා.දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ටත් මේ ප්‍රශ්නය නිසා ගැටලුවකට මුහුණ දෙන්න වෙලා. ජනාධිපතිවරයා මේ ප්‍රමිති ආයතනය ගැන තවමත් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. මේවා ප්‍රතිඅපනයනය නෙවෙයි කළ යුත්තේ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි. ප්‍රතිඅපනයනය කළ හැක්කේ ඒ වෙනුවෙන් ගෙන්වන භාණ්ඩයි. එහෙත් මේවා එසේ ගෙන්වූ දේවල් නෙවෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් මෙසේ පැවසිය.පොල්තෙල්වල අඩංගු විෂ රසායනිකය දිලීරයක් මගින් නිපදවෙන්නක්. ඒවා අධික මාත්‍රාවලින් ශරිරගත වුණොත් මාරාන්තික විය හැකියි.

දැන් තියෙන ප්‍රශ්නය දීර්ෂ කාලයක් තිස්සේ මේවා ශරීරගත වීමයි. එයින් අක්මා පිළිකා ඇති කළ හැකියි.මේවා වෙනත් ආහාර ද්‍රව්‍යවලත් සුළු වශයෙන් අඩංගුවන අවස්ථා තිබෙනවා. ඒත් මෙහි තිබෙන ගැටලුවට පොල්තෙල්වල ඒවා ද්‍රාව්‍ය තත්වයේ පැවතීම නිසා හඳුනාගත නොහැකි විම හා නිතර පොල්තෙල් පරිභෝජනය කරන නිසා ශරීරගත වීමේ ප්‍රවණතාව වැඩිවීමයි. මෙය රත්කළාට විනාශ වෙන්නේ නැහැ. විනාශ කරන්න නම් ඒවා අඩංගු ආහාර ද්‍රව්‍යය විනාශ කළ යුතුයි.මේ පොල්තෙල්වල විෂ රසායනික අඩංගු බව සොයාගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරික්ෂණ අංශයයි. ඔවුන් එය හෙළි කරද්දී ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම පවතින ප්‍රමිති ආයතනයට ඒ ගැන කියන්න බැරි වුණා. ඔවුන් දැන් තමයි කියන්නේ මේ විෂ ගැන කතා කරන්නේ. පොදුජන පෙරමුණේ කෙනෙක් කියනවා පොතෙල්වල විෂ අඩංගු බව හොයාගත්තේ විපක්‍ෂය නෙවෙයි ආණ්ඩුව කියලා. ඇත්ත මන්ත්‍රීවරුන් සතුව ආහාර ද්‍රව්‍යවල විෂ පරීක්ෂා කළ හැකි පරික්ෂණාගාර නැහැ. ඒවා තිබෙන්නේ ආණ්ඩුව සතුවයි. වාචාල කතා කියලා මේ වෙච්ච වැරැද්ද වහ ගන්න බැහැ. දැන්වත් වගකීම් සහිතව කටයුතු කළ යුතුයි.

(මුදිතා දයානන්ද)