සිරියානු ජනාධිපති බෂිර් අල් අසාද් සහ ආර්යාව අස්මා ට කොවිඩ් 19  කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සිතූ ස්නාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දක්වයි.  සිරියානු ජනාධිපති ආර්යාව අස්මා, පියයුරු පිළිකා රෝගියෙකි. 2019 ඇය සැත්කමකට ද භාජන වුවාය.   ජනාධිපති අසාද්ගේ මෙන්ම බිරිඳ අස්මාගේ තත්වය යහපත් බවත් දෙදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ ජනපති නිවසේ හුදෙකලා වී සිටින බවත්, සිරියානු ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.  




දශකයකට ආසන්න කාලයක්  තිස්සේ පවතින සිවිල් යුද්ධය  හේතුවෙන් දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද අඩපණ වූ සිරියාව, 'කොවිඩ් 19" වසංගතය හේතුවෙන් තවත් අසරණ වී  ඇත. සිරියානු සිවිල් යුද්ධයට  මුල් වූයේ දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ධුරය හොබවන අසාද්, ධුරය අත්හැරිම ප්‍රතික්ෂේප කිරිමය. 2011 වසරේ  දී, සිරියානු දේශපාලන කණ්ඩායම්, අවි අතට ගනිමින්, රජයට එරෙහිව සටන් ආරම්භ  කළේ ඒ අනුවය. අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස හිස එසවූයේ ද සිරියානු සිවිල් යුද්ධයේ දී, ඇමරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වෙමිනි.




ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු  බටහිර රටවල් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙද්දී, රුසියාව සිරියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සහාය දැක්වීය. සිරියාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් දිනෙන් දින ඉහළ යමින් පවතී.  සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එරට ආසාදිතයන් ගණන 10, 374 කි. මරණ වාර්තා වන්නේ 1,063 ක් ලෙසිනි.  සිරියාවේ ජනගහනය මිලියන 18 කි. කෙසේ නමුත්, සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී ඇති බැවින් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව තවත් ඉහළ අගයක්  ගන්නා බව සිරියානු සෞඛ්‍ය අමත්‍යංශය බිය පළ කර තිබේ. මීට අමතරව රුසියාවෙන් ලැබුණු එනත් ද සිරියානු  වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.