thirippane-bad-father

දරු ප්‍රසූතියට ආසන්නව සිටි ගැබිනියකගේ හිසට ස්ටූලයකින් පහරදී උදරය පාගා උදරයට ඇඳ පොල්ලකින්
පහරදී ඇය මරාදැමීමට උත්සාහ කළ හා ගර්භයේ සිටි බිලිඳා මරාදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කරන ලද තරුණ සැමියා මේ මස 24දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.



මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වන්නම්කුලම උට්ටිමඩුව තිරප්පනය ලිපිනයේ පදිංචිව සිටින ජයතිලකගේ ධනුෂ්ක ප්‍රීති කුමාර යන (38) සැකකරුයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ තිරප්පනය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ, සැකකරුගේ 40 හැවිරිදි බිරිය වන දෙදරු මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොලිස් මුරපොළට සිදුකර තිබෙන පැමිණිල්ලකට
අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස බිරියට තර්ජනය කිරීමට
රෝහලට පැමිණි අවස්ථාවේදී බවයි.

සැකකරුට එරෙහිව පහරදීම්, ගෘහස්ථ හිංසනයන් ඇතුළු නඩු හතකට අධිකරණයට යොමුකර තිබෙන බවත්,
අවස්ථා කිහිපයකදීම සාමය කඩ නොකරන ලෙස අධිකරණය තරයේ අවවාද කර ආරක්ෂණ නියෝග පවා නිකුත්
කර තිබියදී සැකකරු දිගින් දිගටම මත්පැන් පානය කර ප්‍රචණ්ඩව හැසිරෙන බවත්, පැවැති ආරවුලක් නිසා
මවගේ නිවෙසට ගොස් සිටි ගැබිනිය නිවෙසට ගෙන්වා අමානුෂිකව පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය
අධිකරණයට දැනුම් දුන්නේය.



පසුගියදා (9දා) සැකකරු බිරිය නිවෙසට ගෙන්වාගෙන “තෝ ජීවත්වෙලා හිටියොත් තමයි මට නඩු” කියමින්
ගැබිනියට ස්ටූලයකින් හිස පුපුරා යන අන්දමින් පහරදී පාළු හේන් යායකට ඇදගෙන ගොස් බිම දමා පාගා
උදරයට ඇඳ පොල්ලකින් අමානුෂිකව පහරදී ඇයව පාළු පැලක දමා නිවෙසට පැමිණ ඇති බව පොලිසිය
අධිකරණයට දැන්වූවේය.

සැමියාගේ අමානුෂික පහරකෑමට ලක්වී සිටින ගැබිනි කාන්තාවගේ කුසේ සිටිනා හයමස් වියැති බිලිඳා
මරණයට පත්වී ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ

සිදුකරමින් සිටින බවද පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

තිරප්පනය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.


අනුරාධපුර - මහේෂ් විජේසූරිය