පාසලට කුලී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සිසුවියකට ගමන අතරමගදී ජංගම දුරකතනයෙන් විදේශීය නිල් චිත්‍රපටයක අසභ්‍ය දසුන් ඇයගේ අකැමැත්තෙන් පෙන්වා හිංසනයට ලක් කළ බව කියන විශ්‍රාමික හමුදා සෙබළෙක් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. පාසලට ත්‍රිරෝද රථයෙන් ඇරලවන්නැයි එම සිසුවියගේ මව අසල්වැසි 52 හැවිරිදි ත්‍රිරෝද රියදුරාට තම දාසය හැවිරිදි දියණිය බාරදී තිබෙන බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරු ත්‍රීරෝද රථයෙන් මඳ දුරක් පැමිණ ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ අසැබි දසුනක් එම සිසුවියට බලන්න දී ඇති අතර එම අවස්ථාවේම එම සිසුවිය එය ප්‍රතික්ෂේප කර කෑ ගසා ත්‍රිරෝද රථය වේගය අඩු කරනවාත් සමගම ඉන් පැන ඇතැයි පොලිසිය කියයි. මෙම සිසුවියගේ කෑගැසීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන් පිරිසක් රැස්වීමෙන් සිසුවිය කාරණය ඔවුන්ට පවසා සිය මව ගෙන්වා අලුත්ගම පොලීසියට ගොස් පැමිණිලි කර තිබේ. එම අවස්ථාවේ පලා ගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරා පැය කීපයකින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු යුද හමුදාවෙන් විශ්‍රාම ලබා කුලී පදනම මත ත්‍රිරෝද රථයක් ජංගම දුරකථන ඇමතුම් මත ධාවනය කරන්නෙකු බවත් අසල්වාසි අයකු නිසා තම දියණිය එම ත්‍රිරෝද රථයෙන් විශ්වාසයක් ඇතිව පිටත්කර යැවූ බවත් එම සිද්ධියට මුහුණ දුන් සිසුවියගේ මව පොලිසියට පවසා තිබේ. සැකකරු සමග එම ත්‍රීරෝද රථය සහ අසභ්‍ය දසුන් පෙන්වූ බව කියන ජංගම දුරකථනය පොලිස් භාරයට ගත් බව කියයි. ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවද පරික්ෂණ සිදුකරන පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-තුසීත කුමාර ද සිල්වා -
0 Comments