trcsl-unlimited-internet

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් වෙතින් Unlimited Internet ලබාදෙන පැකේජ ලබන අප්‍රේල් මාසයේ සිට බලාපොරොත්තු වියහැකි බව විදුලි සන්දේශ නියාමන කොමිෂම මගින් නිකුත් කළ නිවේදනයක් මගින් විස්තර වේ.


අදාළ අන්තර්ජාල සේවා සමාගම් වෙත මෙම පැකේජ යෝජනා කිරීමේ අවස්ථාව මාර්තු 1 වනදා තෙක් ලබාදී ඇති අතර මෙම මාසය තුළ ඒවා අනුමත කරමින් පවතින බවත් තවත් සති දෙකකින් පමණ අප්‍රේල් මුල් සතියේ සිට ඒ පැකේජ අනුමැතියෙන් පසු අදාළ සමාගම් මගින් මහජනතාව වෙත ලබාදෙන්නට ප්‍රවර්ධන කටයුතු අරඹනු ඇති බවත් වාර්තාවේ.


ඒඅනුව දැනට දිවා කාලයේ රාත්‍රී කාලයේ ආදී ලෙස බෙදා වෙන් කර ඒ ඒ ගිගාබයිට් ප්‍රමාණ වලට සීමා කර තිබෙන පැකේජ වෙනුවට අසීමිතව අන්තර්ජාලය ලබාදීම වෙනුවෙන් පැකේජ හඳුන්වා දෙනු ඇති අතර ඒ වෙනුවෙන් ගාස්තු අයකරනු ඇත්තේ පහසුකම ලබාගන්නා කාලසීමාවට පමණක් වනු ඇත.
දැනටමත් ලෝකයේ බොහෝ රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ එකකට එකක් වෙනස් අවුල් සහගත පැකේජ නිසා පාරිභෝගිකයින්ට සිදුවන අවාසි බොහොමයක් මෙමගින් මග ඇරෙනු ඇත.
විදුලි සන්දේශ නියාමන කොමිෂම ඊයේ සිය නිල ෆේස්බුක් පිටුවේ මේ ගැන සඳහන් කර තිබුනේ මෙසේය.

‘2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි  අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත  කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.  2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.‘