කොරෝනා දෙවන රැල්ල ආරම්භ වී මාස 05කට පසු අද ආරම්භ වූ බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි සඳහා සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් ප්‍රකාශ කළේය. 


සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව අධ්‍යයන කටයුතු සියලු පාසල්වල සිදු කෙරෙමින් පවතින බව ඔහු කියා සිටියේය.දෙවන කොරෝනා රැල්ලත් සමඟ දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව ක්‍රමානුකූලව පාසල් ආරම්භ කෙරුණි. නමුත් බස්නාහිර පළාතේ පැවති කොරෝනා අවදානම හේතුවෙන් බස්නාහිර පලාතේ පාසල් විවෘත කෙරුණේ නැත.
ඒ අනුව එහි මූලික අදියර ලෙස 5 - 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පසුගිය 15 වන දා ආරම්භ විය.
පන්ති කාමරයක් තුළ සිටින සිසුන් සංඛ්‍යාව අනුව කණ්ඩායම් වශයෙන් බෙදා අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසට විශේෂ චක්‍රලේඛයක් මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබූ අතර ඒ අනුව ළමයින් කණ්ඩායම් වශයෙන් පාසල්වලට ගෙන්වා තිබුණි.  මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ සිසුන් පාසල් වෙත එවීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසයි.  

කෙසේ වෙතත් සිසුන් කොටස් වශයෙන් පාසල් වලට ගෙන්වීමට කටයුතු කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව පාසල් වෑන් රථ සහ බස් රථ කර්මාන්තයේ යෙදෙන්නන් පවසා තිබේ.