altair-colombo-scandal

කොළඹ කොම්පඤ්ඤ වීදියේ ඇල්ටෙයාර් ( ඇලවුන ගොඩනැගිල්ල)  නිවාස සංකීර්ණයේ කොටස් වංචනික ලෙස පවරා ගනිමින් රුපියල් කෝටි 1174කට අධික මුල්‍ය වංචාවක් කළැයි ඉන්දීය පුද්ගලික සමාගමකින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) කරුණු වාර්තා කළේය.  

සවුත් සිටි ප්‍රොජෙක්ට්ස් (කල්කටා) ලිමිටඩ් නමැති ඉන්දීය සමාගමේ උප සභාපති මන්මෝහන් බග්‍රී මහතා විසින් ඉකුත් ජනවාරි මස 27 වැනිදා තම දෙපාර්තමේන්තුවට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.


මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත්  කර තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශ 02 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික සංජීවනී මහත්මිය විසිනි.  සවුත් සිටි ප්‍රොජෙක්ට්ස් (කල්කටා) ලිමිටඩ් නමැති ඉන්දීය සමාගමේ පාලිත සමාගමක් වන ඒ. ඒ. ඉන්ද්‍රා ප්‍රොපර්ටීස් පුද්ගලික සමාගම විසින් හිමිකාරිත්වය සහ පාලනය දරන අංක 216, ද සේරම් පෙදෙස, කොළඹ 10 ලිපිනයෙහි පිහිටි ඉන්ඩෝසියස් ඩිවලපර්ස් පුද්ගලික සමාගම (IDPL) මගින් ශ්‍රී ලංකාවේ ඇටයාර් නමැති නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය පවත්වාගෙන යන ලද බව පැමිණිල්ල සඳහන් කර ඇත.




ශ්‍රී ලංකාවේ පී වී 750 යටතේ ලියාපදිංචි කරන ලද ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් වන මේ සඳහා අංක 121 / ඒ, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ යන ලිපිනයේ  බේරේ වැව ආසන්නයේ අක්කර 2ක භූමි භාගයක් ශ්‍රී ලංකා රුපියල් කෝටි 256 මුදලකට දිගුකාලීන බදු පදනම යටතේ ලබාගෙන ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.  මෙම නිවාස ව්‍යාපෘතිය අවසානයේ අදාළ අයි.ඩී.පී.එල්. සමාගම විසින් කොටසක තක්සේරු කළ අවම මිල ශ්‍රී ලංකා රුපියල් 232ක් බවට තක්සේරු කළ බවත්, එහෙත් පසුව එම සමාගම විසින්  කොටසක් රුපියල් 2. 00ක මුදලකට නිකුත් කර ඇති බවත් පැමිණිල්ල සඳහන් කර ඇත. "


අදාළ අයි.ඩී.පී.එල්. සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කරන ලද ජායිදීප් හල්වාසියා සහ ප්‍රදීප් මොරායස් යන අය විසින් වංචනික ලෙස පැමිණිලිකාර සමාගම වෙත කිසිදු දැනුම්දීමක් සිදුනොකර සහ අවසරයකින් තොරව අදාළ කොටස් ඒ ඇඩ් ඒ සිනර්ජි ලිමිටඩ්, වන්දනා ජෛන් සහ  ද්වේෂ් ජෛන් යන අයට නිකුත් කර ඇතැයි පැමිණිලෙන් සඳහන් කර තිබේ.  මේ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට පැමිණිලිකාර ඉන්දියානු සමාගමේ උපසභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන ඒකකය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.


 (නිමන්ති රණසිංහ)