alto-dharme-money

ඩුබායිහි සිටින මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන "ධර්මසිරි පෙරේරා හෙවත් " ඇල්ටෝ ධම්මේ" නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මෙරටට එවනු ලැබූ බව කියන රුපියල් දහතුන් කෝටි හැට ලක්ෂයක (මිලියන 130ක) මුදලක් සහිත බැංකු ගිණුමක් හිමි සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්මලාන ධර්මාරාම ප්‍රදේශයේ දී පෙරේදා (07) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇත. මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිහත් හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. විවිධ අපරාධ සිදුකර මෙරටින් පලා ගොස් විදෙස්ගතව සිටින ධර්මසිරි පෙරේරා නමැත්තා විසින් එවන ලද මුදල්වලින් යම් කොටසක් මෙම සැකකරුගේ ගිණුමට බැරකර ඇතැයි පරික්ෂණවලදී අනාවරණය කරගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මීට මාස කිහිපයකට පෙර රත්මලාන ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම තරුණයාගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 4ක (රුපියල් මිලියන 490) ක මුදලක් තැන්පත්වී තිබූ බවත් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.එම සැකකරුගේ බැංකු ගිණුමේ තිබූ මුදලින් රුපියල් දහතුන් කෝටියක හැට ලක්ෂයක් රත්මලාන ධර්මාරාම ප්‍රදේශයේදී පෙරේදා (07) අත්අඩංගුවට ගත් සැකකරුගේ ගිණුමට බැර වී ඇති බවට හෙළිවී ඇතැයි ද ඔහු පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඊයේ (08) ඉදිරිපත් කිරිමට නියමිතව  සිටියේය. ඩුබායිහි සිටින ධර්මසිරි නමැත්තා අනුගාමිකයන් යොදවා මෙරට තුළ විවිධ ජාවාරම් සිදුකරන බවත් මන්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම වෙනත් අපරාධ සඳහා ඔහු සම්බන්ධ බවට ද වාර්ත වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලීසිය නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
 (නිමත්ති රණසිංහ)