covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 

ගම්පහ
අවුරුදු උත්සව සමයේ නිමාවත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා පොකුරු කිහිපයක් බිහි වෙමින් පවතින බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියයි.
වත්තල සහ දිවුලපිටිය යන වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන්හි වෙසෙන පවුල් කිහිපයක් අවුරුදු සමයේ නුවරඑළිය, කතරගම, අලුත්නුවර සහ සීගිරිය යන ප්‍රදේශවල සංචාරය කොට ඇති අතර එම පිරිස් අතුරින් වත්තල කොට්ඨාසයෙහි 44 දෙනෙකු සහ දිවුලපිටිය කොට්ඨාසයේ 59 දෙනෙකු කොඩි ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම ආසාදිතයිගේ ආශ්‍රිතයින් සෙවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත. මේ අතර ඊයේ (23) උදෑසන වනවිට ගත වූ පැය 24 ක කාලය තුළදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 124 දෙනෙකු හමුව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම සහ සංචරණයන් සීමා නොකිරීම මෙවන් තත්ත්ව යක් ඇතිවීමට හේතු වී ඇති බවද කීය.
 


නාඋල

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ රෝගීන් තිදෙනකු රජාවෙල රෝගීන් දෙදෙනකු දෙකේ කණුව ප්‍රදේශයෙන් එක් රෝගියකු වශයෙන් රෝගීන් හය දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ කියා සිටියි. පවත්නා තත්වය හමුවේ ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් නාඋලින් කොරෝනා රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින සෞඛ්‍ය අංශ දන්වා ඇත.


පදියතලාව

පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදියතලාව නගර සීමාවේ පදිංචි 23 හැවිරිදි පාසල් ගුරුවරික ඇතුළු තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වයිරසය ආසාදිත ගුරුවරියගේ සැමියා බදුල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවකයකු බවත් බදුල්ල ප්‍රදේශයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා ඔහුගේ සමීපතමයන් ද ඉකුත් 22දා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කළ බවත් එහිදී කොරෝනා වයිරසය ආසාදිත බැංකු සේවකයාගේ පවුලේ සාමාජිකයන් තිදෙනකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
කොරෝනා වයිරසය ආසාදිතව ඇති බව තහවුරු වූ ගුරුවරිය සහ ඇගේ මවත් සොයුරියත් කාත්තන්කුඩිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඉකුත් (22) වැනිදා ඇතුළත් කළ බව පදියතලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එම්.ටී.ආර්. කුමාර මහතා පැවැසීය.

වැල්ලවාය

 වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 121ක් වන අතර මෙතෙක් නිරෝධායනයට යොමු කර ඇති සමස්ත ගණන 236ක් බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
පසුගිය සති දෙකක කාලය ඇතුළත නව ආසාදිතයින් 23ක ප්‍රමාණයක් වාර්තතා වූ අතර මේ වන විට නිරෝධායනය වන පිරිස 301ක් වේ .
ආසාදිත පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයිගේ පීසීආර් පරික්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (24) වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිත බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්. පියසුමන මහතා පැවසීය.

කඹුරුපිටිය

 හලාවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක කිරින්ද මල්වතුගොඩ ප‍්‍රදේශයට පැමිණ සිටියදී හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි අතර මියගිය පසු සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී ඇයට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හලාවත, ආරියගම, මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි හැත්තෑ එක් හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව පසුගිය පහළොස් වැනිදා කිරින්ද මල්වතුගොඩ ප්‍රදේශයේ පදිංචි දියණියගේ නිවසට පැමිණ ඇති අතර ඇයට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඉකුත් 22 වැනිදා සවස කඹුරුපිටිය මූලික
රෝහලට ඇතුළු කිරීමේදී මියගොස් ඇත.  මෙම කාන්තාව මියයාමෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බවත් මියගිය කාන්තාවගේ දියණියගේ පවුලේ සමාජිකයන් පස් දෙනකු සහ කඹුරුපිටිය මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ හෙද නිලධාරිණියන් දෙදෙනකු සහ සෞඛ්‍ය සේවකයන් හතර දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.



තංගල්ල
 තංගල්ලෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් හත් දෙනකු හඳුනාගෙන රෝහල් ගත කළ බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
තංගල්ල, කදුරුපොකුණ නැගෙනහිර පදිංචි 56 හැවිරිදි ලිපිකාරිනියකට හා ඇයගේ පුතා වන 23 හැවිරිදි ශිෂ්‍යයාටත් කොරෝනා ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණවලින් තහවුරුවීම නිසා මව අගුණකොළපැලැස්ස එරමිණියාය කොරෝනා ඒකකයටත්, පුතා හම්බන්තොට මහ රෝහලටත් ඇතුළත් කර ඇත.  තංගල්ල, නලගම මුස්ලිම් වීදියේ එකම පවුලේ 65 හැවිරිදි මව, 30 හැවිරිදි දියණිය, අවුරුදු හතක් වයස දියණිගේ පුතාත්
කොරෝනා ආසාදිත බවට පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරුවීම නිසා තිදෙනාම අගුණකොළපැලැස්ස එරමිණියාය ප්‍රතිකාර මධ්‍යස්ථානයටත්, නලගම මුස්ලිම් වීදියේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු ආසාදිත බවට හඳුනාගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
තංගල්ල මූලික රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි 58 හැවිරිදි පල්ලත්තර පදිංචි විශ්‍රාමික යුධ හමුදා සෙබළකුටත්
කොරෝනා ආසාදිත බවට හදිසි ප්‍රතිදේහ පරික්ෂණයකින් හඳුනාගෙන 22 වන දින හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

පාදුක්ක
 පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නිරෝධායන කාලය අවසන් කර සිටි30 දෙනකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 24 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් මඩමවත්ත මහතා (23) දින පැවසීය. මෙම පිරිස පාදුක්ක, ගලගෙදර, අරුක්වත්ත, මාදුලාව සහ තුම්මෝදර යන මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසවල බව පැවසේ.  ආසාදිත පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවෙස්වල නිරෝධයනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මහනුවර
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (23) දිනය වන විට නව කොරෝනා වයිරස ආසාදිතයින් 19 දෙනකු වාර්තා වී තිබූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 522ක් වශයෙන් වාර්තා වී තිබුණි. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් වාර්තා වී තිබූ රෝගීන් සංඛ්‍යාව මෙසේයි .. අකුරණ 02, ගලගෙදර 01, හාරිස්පත්තුව02, මහනුවර 06,  කුණ්ඩසාලේ 03, මැදදුම්බර01, මැණික්හින්න 01, පස්බාගේ 03 වශයෙනි.

ගාල්ල හා දකුණු පළාතේ බන්ධනාගාර පොකුර
 ගාල්ල නාගොඩ ප්‍රදේශයේ ඊයේ 23 දින වනවිට්ට කොරෝනා රෝගීන් පස්දෙනකු හමුවී ඇතැයි වාරිතාවේ. ඉන් සිවුදෙනකුම බැංකු ආරක්ෂක නිලධාරියකුගේ පවුලේ සාමාජිකයන්ය. ආරක්ෂකයා, ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා කොරෝනා ආසාදිතව රෝහල්ගත කර ඇත.

දකුණු පළාතේ බන්ධනාගාර හතරකින් නව කොරෝනා ආසාදිතයන් හතර දෙනකු 22 දින හඳුනා ගත් බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධස්ථානයේ චාමර මහගමගේ මහතා පැවැසිය.. ගාල්ල, බූස්ස, හම්බන්තොට සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාරවලින් මෙම ආසාදිතයන් හමුවී තිබේ.
දැනට මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 431 දෙනෙකි. බූස්ස බන්ධනාගාරයෙන් 204 දෙනෙකු, ගාල්ල බන්ධනාගාරයෙන් 54 දෙනෙකු, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් 95 දෙනෙකු, වීරවිල බන්ධනාගාරයෙන් 46 දෙනෙකු, මාතර බන්ධනාගාරයෙන් 31 දෙනෙකු සහ හම්බන්තොට බන්ධනාගාරයෙන් එක් අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

දිවුලපිටිය අඹගහලන්ද
දිවුලපිටිය අඹගහලන්ද ප්‍රදේශයේ සිදුකළ රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු හමුවූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක එස්.ඒ.යූ. කුලතිලක මහතා පවසයි.  මෙම රෝගීන් පිරිස  අතර ඉකුත් දිනවල ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් හා ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසක්ද වන බව කුලතිලක මහතා පැවසීය.

කළුතර
කළුතර කොට්ඨාසයෙන් නව කොරෝනා ආසාදිතයන් 14 දෙනකු පෙරේදා (22) හඳුනාගෙන ඇත.  ගල්පාත ප්‍රදේශයෙන් 02ක්, දොඩම්ගොඩ විජේගුණරත්නගම ප්‍රදේශයෙන් 03ක්, වරකාගොඩ ප්‍රදේශයෙන් 03ක්, මීගහතැන්න ප්‍රදේශයෙන් 01ක්, මාගල්කන්ද හා හල්කඳවිල යන ප්‍රදේශවලින් 03 ක් වශයෙන් මෙම රෝගීන් හඳුනාගෙන තිබේ.
 

කිරිඳිවැල
කිරිඳිවැල කිරිකිත්ත ප්‍රදේශයේ මව, පියා, පුතා සහ දියණිය යන හතරදෙනාටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව  මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරවීර මහතා පවසයි. මේ වනවිට ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ඔවුන්
යොමුකර තිබේ. ආසාදිත මව |ගුරුවරියක වන අතර දියණිය පාසල් සිසුවියකි. පුතා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන හෝටලයක රැකියාවක නිරත අයකු බවද සුරවීර මහතා කීය.