එළැඹෙන අවුරුදු සමයේ දී මහා පරිමාණ සැණකෙළි හා සංගීත ප්‍රසංග යනාදිය පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද ඔහු කීය. ගම්වල සංවිධාන කෙරෙන කුඩා කුඩා අවුරුදු උත්සවලට පමණක් අවසර ලබාදෙන බව කී විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඒ උත්සව සංවිධානය කළ යුතු බවද ප්‍රකාශ කළේය. අවුරුදු උත්සවලදී පුද්ගලයින් අල්ලන හෝ සමීපව ගැටෙන ක්‍රීඩාවලට අවසර නොලැබෙන අතර පුද්ගල දුරස්ථභාවයෙන් යුතුව කළ හැකි ක්‍රීඩාවලට පමණක් අවසර ලැබෙන බවද සමරවීර මහතා පැවැසීය.අවුරුදු සමයේදී අතට අතදීම් හා වැළඳ ගැනීම් ද තහනම් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.අවුරුදු සමයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීති රීති ඇතුළත් මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ (1) නිකුත් කරනු ලැබීය. මේ අතර අවුරුදු උත්සව සමයේදී සංචාරය හැකිතාක් සීමා කරන්නැයිසෞඛ්‍ය අංශ ප්‍රධානීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

 (සුජිත් හේවාජුලිගේ)