යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් සිදුකළැයි කොළඹ වචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එකම පවුලේ පස් දෙනකු, ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නළුදෙණිය මහතා ඊයේ (31) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එකම පවුලේ සාමාජිකයන් වන දිසානායක මුදියන්සේලාගේ විජේරත්න (පියා), සංඛ ලක්මාල් දිසානායක (පුතා), ඉෂාරා සඳමාලි දිසානායක දියණිය), වින්ද දිසානායක (දියණිය) සහ ක්වින්ද දෙනවක (බෑනා) යන අයවලුන්ය.
මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මුස්ලිම් ජාතික කාන්තාවන් ලෙසින් බුර්කාවකින් සැරසී සිට ඇති බවත් විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසුව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවත් කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. සිද්ධියට අදාළව පැමිණිලි 108ක් ලැබී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි 17ක් ඇතුළුව කොළඹ අධිකරණ සියල්ලේම මෙයට අදාළව පැමිණිලි ලැබී ඇති බවට සදහන් කරමින් මෙම සිද්ධිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන ඒකක 05 හි ප්‍රධාන පොලිස් පරික්ෂක නුවන් දන්තනාරායන මහතා විසිනි.
ඊ වින් ෆොරින් එඩියුකේෂන් පුද්ගලික සමාගම, වින් වින් ෆොරින් එඩියුකේෂන් පුද්ගලික සමාගම, ඊ වින් ජැපෑන් එඩියුකේෂන් පුද්ගලික සමාගම සහ ඊ වින් ෆොරින් ජැපෑන් එඩියුකේෂන් සමාගම යන නමින් සමාගම් හතරක් පිහිටුවාගෙන ඇති මෙම සැකකරුවන් එහි අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කර ඇති බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත. මෙම සැකකරුවන් කොළඹ 07 සම්බුද්ධ ජයන්ති බෞද්ධ මන්දිරය ලෙසින් අදාළ සමාගම් හතරෙහි ලිපිනය ලෙස භාවිත කර ඇති අතර එම සමාගම් සියලේ එකම කාර්ය මණ්ඩලයක් සේවය කර ඇති බවත් සමාගම් හතරේම එකම අධ්යක්ෂ මණ්ඩලයක්, එකම සේවක මණ්ඩලයක් මෙන්ම එකම ලිපිනයක් තිබීම සමාගම් පනත අනුව වරදක් වන බවත් එම කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ සමාගම් නමින් පුවත්පත් සහ අන්තර්ජාලය මගින් දැන්වීම් පළකරන මෙම සැකකරුවන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 20 සිට 50 දක්වා වන මුදල් ලබා ගනිමින් මෝල්ටව සහ පෝලන්තය යන රටවලට අධ්‍යාපනය සඳහා යොමු කරන බවට සඳහන් කර ඇති බවත් එසේ මුදල් ලබා ගැනීමෙන් පසුව තරුණ තරුණියන් ඉන්දියාව, මැල්සියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව ආදී රටවලට ගෙන ගොස් අතරමං කර දමන බවත් වංචා විමර්ශන ඒකකය බී වාර්තතා මගින් අධිකරණයට දැනුම් දී ඇත. මෙම සැකකරුවන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 403, 386 වගන්ති ප්‍රකාරව මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 64 (අ), ආගමන විගමන පනතේ 45 ආ (අ) වගන්ති උල්ලංඝනය කර ඇතැයි කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට සඳහන් කර තිබේ.
0 Comments