ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. රන්ජන් රාමනායක මහතා මෙම අවස්ථාවේ සිටින තත්වය පිළිබඳ සලකා බලා ඔහුට සමාව දීමේ වැදගත්කම විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ බවද කියැවෙයි. 


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (19) පස්වරුවේ පැවති අතර සජිත් ප්‍රේමදාස මහතා එහිදී මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අදාළ හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් කරන ලෙස ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා වෙත දන්වා ඇතැයි ද සඳහන් වෙයි. කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සම්බන්ධයෙන්ද සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු වී තිබේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමටද එහිදී තීරණය වී ඇත. 

මෙම කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත පිළිබඳ අධ්‍යයනය කර පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමටත් එහිදී තීරණය කළ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.එමෙන්ම ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කර තිබේ. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පරු 3.00ට පමණ අරම්භ වූ අතර එය සවස 5.30 පමණ දක්වා පැවැත්විණි.

 (නිමල කොඩිතුවක්කු)