හත් හැවිරිදි දරුවෙකුට අමානුෂික ලෙස පහරඳුන් බව කියන මවක් සහ මිත්තණියක් පල්ලෙවෙල පොලීසිය විසින් 27 දා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණු එම දරුවාට පහරදීමේ සිද්ධිය ඇතුළත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා මෙම මව සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන ඇත. මව මෙම දරුවාට පහර දෙන අවස්ථාව වීඩියෝ ගත කර ඇත්තේ එම කාන්තාවගේ දහතුන් හැවිරිදි දියණිය විසින් වන අතර එම දියණිය මෙම වීඩියෝව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබේ.
මීරිගම, ගනේගොඩ ප්‍රදේශයේ වෙසෙන මෙම පවුලේ දරු තිදෙනෙකු විහාරස්ථානයක දිවි ගෙවන බවත් ඔවුන් තිදෙනා නිවසට පැමිණි අවස්ථාවේ මිත්තණියට පා පහරක් එල්ල කිරීම නිසා කෝපයට පත් මව මිත්තණියට වැඳ සමාව ගන්නා ලෙස පවසමින් දරුවාට පහරදී ඇති බවත් පොලීසිය පවසයි. වයස අවුරුදු දහසය, නවය හා හතේ දරු තිදෙනා විහාරස්ථානයක වෙසෙන අතර දියණිය පමණක් මෙම නිවසේ සිට ඇත. පොලීසිය විසින් දරුවාගේ ප්‍රකාශය 27 දා සවස සටහන් කළ බවත් ඔහු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් පල්ලවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත රත්නායක මහතා පැවසීය.
දරුවට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මව සහ මිත්තණිය අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ පරික්ෂණ පැවැත්වේ.
-පුෂ්පකුමාර මල්ලවආරච්චි-
0 Comments