colombo covid19

කොළඹ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයන් 35 දෙනකු හඳුනා ගැනීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.  

කොළඹ පිහිටි රාජ්‍ය බැකුවක කොරෝනා ආසාදිතයන් 35 දෙනකු ඊයේ (20) වන විට වාර්තතා වී ඇති අතර එම බැංකුවේ 300 දෙනකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයක දී  මෙම රෝගීන් හඳුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.  සිංහල අලුත් අවුරුද්ද නිමිති කරක්ගෙන අදාළ රාජ්‍ය බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන ශාඛාවෙන් රුපියල් බිලියන 8කට අධික මුදලක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පිහිටි ශාඛාවලට බෙදා හැර ඇති බවත් මේ හේතුවෙන් බදුල්ල  අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල පිහිටි එම බැංකු ශාඛාවල නිලධාරීන් කිහිප  දෙනකුට ද කොරෝනා ආසාදිතව ඇති බවට අනාවරණය වී ඇති බවත්  සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව අදාළ රාජ්‍ය බැංකුවේ සේවකයන් 70 දෙනකු කොරෝනා වයිරසය ආසාදිතව කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බව  කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය පවසයි.  මේ අතර, පිළියන්දල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් තිස් එක් දෙනකු ඊයේ (20) හඳුනාගෙන ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

පිළියන්දල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පුද්ගලයන් එකසිය තිස් දෙනකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් පසුව මෙම  රෝගීන් හඳුනාගත් බව ද  එහි සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය. පිළියන්දල සෞඛ්‍ය   වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ඇරැව්වලින් 09 දෙනකු, රත්මල්දෙණියෙන් 09 දෙනකු, බෝකුන්දරින් 10 දෙනකු, ගොරකපිටියෙන් 03 දෙනකු වශයෙන් රෝගීන් 31 දෙනා හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙම රෝගීන් හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් 152 දෙනකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර  ඇතැයි ද හෙතෙම පැවසීය.

කොට්ටාව ප්‍රදේශයේ පාසලක 5 වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඇය අධ්‍යපනය ලැබූ  පන්තියේ සිසු සිසුවියන් 25 දෙනකු සඳහා පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකර ඇත. ඉන් සිසුවියන් දෙදෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවට ඉකුත් 18 වැනිදා හඳුනාගත් බව ද කොට්ටාව මහජන සෞඛ්‍ය පරිකවරු සඳහන් කරති.

සිංහල අලුත් අවුරුදු සමයේ රෙදිපිළි අලෙවි කළ මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළෙඳ සැල් දෙකක් ඊයේ (20) වසා දැමීමට මහරගම සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම වෙළෙඳ සල්වලට  රෙදිපිළි මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුට කොරෝනා ආසාදිත බවට ඉකුත් 11 වැනිදා හෙළිවීමත් සමග සිදුකළ පීසීආර් පරික්ෂණවල දී එම වෙළෙඳසල විසි දෙනකු කොරෝනා අසාදිතයන් බවට ඊයේ (20) හඳුනාගෙන ඇතැයි මහරගම සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය පැවසුවාය. එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 100 දෙනකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර අනෙක් වෙළඳසල් විෂබීජහරණය කර වෙනත්  සේවකයන් යොදවා ඒවායේ කටයුතු සාමාන්‍ය පරිදිම සිදුකිරීමට උපදෙස් දුන් බව ද ඇය සඳහන් කළාය.



මේ අතර මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබීම හේතුවෙන් විශාල කොවිච් පොකුරක් මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත්  සමරවීර මහතා පැවසීය. ඉකුත් දිනවල දී කොරෝනා රෝගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබුණු නමුත් නැවතත් රෝගීන් වාර්තාවීම ක්‍රමයෙන් වර්ධනය වී තිබීම  හේතුවෙන් මෙම තත්වය ඉතාමත් පරිස්සම්කාරි විය යුතු අවස්ථාවක් බව ද ඔහු සඳහන් කළේය. කොරෝනා රෝගය ක්‍රම ක්‍රමයෙන් වැඩිවන විට අප නොදැනුවත්වම විශාල පොකුරු ඇතිවිය හැකි බවත්, මෙය ඉතාමත් භයානක තත්වයක් බැවින්  එසේ සිදුවුව හොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා ඇති කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය. මේ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට සීමා පැනවීම මෙන්ම විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් ද සීමා ඇති කිරීමට සිදුවනු ඇති බවත්   මේ නිසා එය වළක්වා ගැනීමට ජනතාව සෞඛ්‍ය පුරුදු පෙර පරිදිම සිදුකරමින් සෞඛ්‍ය අංශවලට සහයෝගය ලබා දිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.


 -නිමන්ති රණසිංහ-