විෂ පොල්තෙල් ගැටලුවට රජය මැදිහත් වී විශේෂඥයන්ලවා පරීක්ෂණ කර වහාම පියවර ගත් යැයි ආණ්ඩු පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පෙරේදා (30) පැවසීය. වර්තමානයේ ආහාරවල ප්‍රමිතිය ගැන මහ ලොකුවට කතා කරන පුද්ගලයන් ආණ්ඩු කරන කාලයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන කළ බවත් ඒ හේතුවෙන් ජනතාව රෝගීන් බවට පත්වූ බවත් මන්ත්‍රීවරයා කීය.ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස ආහාරවල ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වන බවත් ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කරමින් සිටින බවත් හෙතෙම පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මධුර විතානගේ මහතා එසේ පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී මධුවිතානගේ මහතා එහිදී මෙසේද පැවසීය.“යහපාලන ආණ්ඩුව පැවැති 2015 සිට 2019 දක්වා වස විස ගැන බැලුවෙ නෑ.

පරිසරය ගැන බැලුවෙත් නෑ. සදාචාරය ගැන බැලුවෙත් නෑ. ඇත්තටම රටට මොකද වුණේ කියලා දන්නෙත් නෑ. අපි මොනතරම් වස විස කාලා තිබෙනවද දන්නෙත් නෑ.ජනාධිපතිවරණයේදී වස විසෙන් තොර ආහාර අපේ ප්‍රධාන මාතෘකාවක්. ඒ සඳහා ප්‍රමිතියක් හදන්න ඕනෑ කියලා අපි කිව්වා.

පසුගිය මාර්තු 4 වැනිදා පොල්තෙල් ගැටලුව උද්ගත වූ අවස්ථාවේදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත කර්මාන්ත තාක්‍ෂණ ආයතනය සහ ප්‍රමිති ආයතනය මැදිහත් වෙලා වහාම පරික්‍ෂණ කළා.පසුගිය රජය කාලයේ 2015 ජනවාරි 15 වැනිදා සිට 2016 දෙසැම්බර් 31 වැනිදා දක්වා රජයේ ආයතනවල සිදුවී ඇති දූෂණ වංචා පිළිබඳව සෙවීමට මෙත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිෂන් පත්කළා. එහි සඳහන් වෙනවා වසරකට කාන්තාවන් 400 පමණ පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ලබනවා කියලා. බෙහෙත් අදාළ රටේ පරීක්ෂා නොකර අනුමත නොකර ගෙන්වලා තිබෙනවා. මේ කෑගහන අය දන්නේ නෑ කිසිම ප්‍රමිතියක් නැතිව, කිසිම නියාමනයක් නැතිව පිළිකාකාර ඖෂධ ගෙන්වලා තිබෙනවා. මෙන්න මේ වගේ දූෂණ වංචා කරන රජයක් තිබුණේ. පරිසරයත් අද විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා. සැබෑවටම පරිසරය ගැන මහා පරිමාණයෙන් කතා කරන්න ඕනෑ. මට ප්‍රතිපත්ති හදන්න ඕනෑ. අවුරුදු ගානක් පරණ නීති රිති යාවත්කාලීන කරන්න මහ ලොකුවට පරිසරය ගැන කතා කරන මිනිසුන්ට අමතක වුණා. පරිසර රකින්න පනත් තියෙනවා. අපි සෞභාග්‍ය දැක්ම ආරම්භ කළේ පරිසරය සම්බන්ධ කතාවත් එක්කමයි.පොදුජන පෙරමුණේ සාමාජික බුද්ධික වික්‍රමාධර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

(යොහාන් භාසුර)