chandana-lal-nuwara-eliya

වසන්ත සැණකෙළිය ඇතුළු උත්සව පවත්වනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අංශවල නිර්දේශ සහිතව බව නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පැවසුවේය.



අදාළ උත්සව පවත්වනු ලැබුවේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්,පොලිසිය ඇතුළු අංශවල සම්බන්ධකම් හා නිර්දේශ සහිතව බවත්, මේ පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡා කළ බවත් නගරාධිපතිවරයා කීවේය.

තමා බලෙන් මෙම උත්සව නොපැවැත්වූ බව ද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමීව අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ විසින් මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට දැනුම්දී තිබුණි.

අදාළ උත්සව සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිතව හෝ වාචිකව කිසිවෙකු විමසීමක් සිදු නොකළ බව ද නගරාධිපතිවරයා ඊයේ (27 වැනිදා) පැවසුවේය.


සාලිය කුමාර ගුණසේකර