colombo-covid

අලුත් අවුරුදු නිවාඩුවේ කොළඹ සිට ගම්පළාත් බලා, විශාල පිරිසක් පිටත්ව යන බැවින් නගරයේ සිට ගමට කෝවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.. මේ හේතුවෙන් ආර්ථික කලාප ඉලක්ක කරගෙන අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම මේ දිනවල සිදුකරන බවද ඒ මහතා පැවසුවේය.  කෝවිඩ් හා උත්සව සමය යන මැයෙන් ඊයේ (01දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,


"තව සති දෙකකින් අලුත් අවුරුදු උදාවෙනවා. අලුත් අවුරුදු නිවාඩුවේ කොළඹ සිට විශාල පිරිසක් ගවලට යනවා. විශේෂයෙන් ආර්ථික කලාපවල සේවය කරන අය. මේ පිරිස තුළ අහම්බෙන් හරී ආසාදිතයෙක් සිටියොත් ගම්වලට රෝගය යන්න පුළුවන්. ඒ නිසා අපි ඔවුන් ඉලක්ක කරගෙන අහඹු පරීක්ෂණ දිගින් දිගටම මේ දිනවල සිදුකරනවා.  ඒ අනුව අපි අවසාන කෝවිඩ් රෝගියා හඳුනාගැනීම දක්වා අවශ්‍ය ප්‍රමාණයට ඉලක්කගතව හා විද්‍යානුකූලව  හා තත්වානුකූලව අවශ්‍ය පරීක්ෂණ සිදුකරනවා.

ඒ වගේම අලුත් අවුරුද්දේදී අනවශ්‍ය ඒකරාශිවීම්වලින් තොරව අවුරුද්ද සමරනවා නම් අලුත් රැල්ලක් ඇතිවීම වළක්වාගන්න හැකියාවක් ලැබෙනවා. එයට සියලු දෙනාගේ උපකාර අපට ලැබෙයි කියලත් බලාපොරොත්තු වෙනවා." යැයි කියා සිටියේය.


මෙරට දෛනික කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඩු  අගයක් ගැනීමට හේතු වී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ අඩු කිරීම නිසා බවට වන අදහස් පිළිබඳ ඔහු කියා සිටියේ  පීසීආර් පරීක්ෂණ හිතාමතා අඩුකර නොමැති බවත්, රෝගීන්  අඩු වීම හේතුවෙන් පරික්ෂණවලට ලක් කළ යුතු ආශ්‍රිතයන් ගණන අඩු වී ඇති බවත්ය. එසේම දිගින් දිගටම අහඹු. පී.සී.ආර්.  පරීක්ෂණ සිදු කෙරෙන බවද ඒ මහතා පැවසීය. "කෝවිඩ්-19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පක්ෂණ අඩු කර නැහැ. අපට රෝගීන් වාර්තා වීම අඩු වනවිට එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වාර්තා  වෙන්නෙත් අඩු අගයකයි. අපි බැලුවොත් රෝගීන් 1000ක්  ඉඳලා ඒ එක් රෝගියෙකුට ආශ්‍රිතයන් පස්දෙනා බැගින් හිටියොත් අපට ආශ්‍රිතයන් වාර්තා වෙන්නේ 5000ක් පමණ.  




එවිට අපි මේ 5000ට පී.සී.ආර් පරික්ෂණ සිදු කරනවා. නමුත් අපට රෝගීන් වාර්තා වෙන්නේ 500ක් නම් ඒ අනුව ආශ්‍රිතයන් සංඛ්‍යාවත් අඩු වෙනවා වගේම කරන්නට අවශ්‍ය වන පී.සී.ආර්. පරීක්ෂණ ගණනත් අඩු වෙනවා.  පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාව අඩුවෙලා නිසයි දෙනික පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු වෙලා  තිබෙන්නේ. නමුත් අපි අහඹු ලෙස සිදුකරන පී.සී.ආර්  පරීක්ෂණ අඩු කරලා නෑ. දිගින් දිගටම අවදානම් ස්ථානවල  සිදු කරනවා. අපි යාපනයේ වෙළෙඳ පොළ දෙකක රෝගී  පොකුරක් හඳුනාගත්තේ එලෙස සිදුකළ අහඹු පී.සී.ආර්.  පරීක්ෂණවලින්. ඒ අනුව පී.සී.ආර්  පරීක්ෂණ අඩු නිසයි මේ රෝගීන් වාර්තා වීම අඩු වෙලා තිබෙන්නේ කියලා සැකයක්  ඇති කරගන්න කිසිම අවශයතාවක් නැහැ.


මෙයින් කියන්නේ නැහැ අපේ රට ඉතාම හොඳ  තැනක ඉන්නවා කියලා. මොකද ඕනෑම අවස්ථාවක හඳුනානොගත් රෝගියෙක් හරහා ඕනෑම තැනක කොරෝනා පොකුරක් ඇතිවීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා අපේ රට  සම්පුර්ණයෙන් මේ වසංගතයෙන් නිදහස් වෙනකන් අපි වගකීම් සහිතව හැසිරිය යුතුයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම දිගින් දිගටම අනුගමනය කිරීම අවශ්‍යයි” යනුවෙන්ද හෙතෙම කියා සිටියේය.


 -නදිශාණි පනීරණ-