covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


කරාපිටිය

 අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුව ආදී රෝග ලක්‍ෂණ නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කිරිමෙන් පසුව පෙරේදා (25 වැනිදා) මියගිය අහංගම ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා ආසාදිත බවට පී.සී.ආර්. පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකි. දැඩි ලෙස අසනීප වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මියගිය මෙම පුද්ගලයාට කෙරුණ පී.සී.ආර්. පරික්ෂණයේදී කොරෝනා ආසාදිත බව තහවුරු වී යැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

මේ අතර මෙම පුද්ගලයාගේ බිරිඳ ද මෙම රෝග ලක්‍ෂණ සමග දැඩි ලෙස අසනීප වීම නිසා ඊයේ (26 වැනිදා) ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමට අහංගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.පී. ගයාන් අසංක මහතා පියවර ගත්තේත්ය.



වැල්ලවාය

 වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් වාර්ත වූ දෙවැනි කොවිඩ් මරණය ඉකුත් 24 වැනිදා වැල්ලවාය වීරසේකර ගමින්  වාර්තා විය.  පැල්වත්ත සීනි සමාගමේ සේවකයකු කොවිඩ්  ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර සිටි අතර එහිදී මියගොස් තිබේ.පසුගිය සති දෙකක කාලය ඇතුළත නව ආසාදිතයන් 26 දෙනකු වාර්තා වූ අතර ඉකුත් (23) දිනයේ විහාරාධිපති ස්වාමීන්වහ්නසේ නමකට ද කොවිච් ආසාදනය වී ඇති බව වැල්ලචාය මූලික රෝහල මගින් සිදු කෙරුණ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී තහවුරු වී තිබේ. එම ආසාදිතයන් අතර පාසල් සිසුවෝ පස්දෙනෙක් වෙති.  මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 111 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පේ සාම්පල ලබාගැනීම වැල්ලචාය මහින්ද රාජපක්‍ෂ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ඉකුත් 24 වැනිදා සිදුකළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්. පියසුමන මහතා කියා සිටියේය.


හලාවත

හලාවත‌ ‌ප්‍රදේශයේ‌ ‌මහ‌ ‌විදුහලක‌ ‌සිසුවකු‌ ‌කොවිඩ්‌ ‌19‌ ආසාදිතයකු බවට ඉකුත් 24 වැනිදා හඳුනාගත් බැවින් සිසුවා  කොවිඩ් 19 රෝග නිරෝධායන මධ්‍යස්ථානයකට යවා ඇති  බව හලාවත ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.  මෙම සිසුවා හලාවත නගරයේ පුත්තලම පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 12 වසරේ ඉගෙනීමේ කටයුතුවල නිරතව සිටි බවත් පසුගිය දිනෙක සිදු කළ අහඹු කොවිච් 19 පරික්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු කොරෝනා ආසාදිතයකු වන බව හෙළි වූ බවත් කියයි.




උප්පුවේලි

 ත්‍රිකුණාමලය, උප්පුවේලි පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග එම අංශයේ එක් පොලිස් නිලධාරියකු හැර සෙසු නිලධාරීන් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

අසාදිත රථවාහන අජශයේ ස්ථානාධිපතිවරයා කොවිඩ්  19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන ඊචලත්පත්තු රෝහලට යොමු කර තිබේ.  රථවාහන අංශයට වෙනත් අංශවලින් නිලධාරීන් යොදවා පවත්වාගෙන යෑමට උප්පුවේලි පොලිසිය කටයුතු කර තිබේ.


හිගුරක්ගොඩ

හිගුරක්ගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයකදී ඔහු කොවිඩ් රෝගියකු බවට හඳුනාගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. ඩබලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි. පොලොන්නරුව සෞඛ්‍ය සේවා ප්‍රදේශයෙන් පෙරේදා (25 වැනිදා) වනවිට දින 14ක් ඇතුළත වෛද්‍යවරියකගේ පවුලේ අය සමග කොවිඩ් ආසාදිත 33 දෙනකු හමුවී ඇති බව ද  වෛද්‍යවරයා කීවේය.

කොවිඩ් ආසාදිත රෝගියකු මිය යාම නිසා හිගුරක්ගොඩ මූලික රෝහලේ දෙකේ වාට්ටුවට රෝගීන් ලබාගැනීම තාවකාලිකව නවතා ඇති බවත් මියගිය රෝගියා සමග කටයුතු සිදුකළ පිරිස වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකර එම වාට්ටුවට ද විෂබීජහරණයට ලක් කිරීම සිදුකිරීම ආරම්භ කර ඇති බවත් ඔහු කීවේය.


 අම්බලන්තොට

 අම්බලන්තොට බොරළුකන්ද ප්‍රදේශයෙන් හා සූරියවැව මහ පැලැස්ස ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත හත් දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අම්බලන්තොට බොරළුකන්ද ප්‍රදේශයේ එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනකු සහ මව පියා කොවිච් ආසාදිත වී ඇති අතර සූරියවැව මහපැලැස්ස ප්‍රදේශයේද තුන්දෙනෙකු ආසාදිතයන්  ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.


හැටන්

හැටන් පොලිසියේ රියැදුරු කොස්තාපල්වරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට 26 වැනිදා තහවුරු වී ඇතැයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් පැවසිය.   ආසාදිත කොස්තාපල්වරයා උදරයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා 26 වැනිදා දික්ඔය මූලික රෝහල වෙත ගිය අවස්ථාවේදී දික්ඔය මූලික රෝහලේදී සිදු කෙරුණ ඇන්ටිජන් පරීක්ෂාව අනුව එම කොස්තාපල්වරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය බව තහවුරු වී ඇත.


හම්බන්තොට

 හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඊයේ 26 වැනිදා කොවිඩ් ආසාදිත 145දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කියයි. එම රෝගීන්ගෙන් 05 දෙනෙක් විදේශිකයෝ වෙති.




බදුල්ල

කොරෝනා වයිරසය ආසාදිත වූ බදුලේ 15 දෙනකු පෙරේදා 25 වැනිදා වනවිට හඳුනාගෙන ඇතැයි බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරිකවරු පැවසූහ. මෙම පිරිසෙන් 12 දෙනකු බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුවක  සේවකයන් බවත්, තවත් අයෙක් බදුල්ල නගරයේ පෞද්ගලික බැංකුවක සේවකයකු බවත් සෙසු දෙදෙනා බදුල්ල යාල්පානවත්ත, බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ.

මින් කොරෝනා ආසාදිත බැංකු සේවක පිරිස කොග්ගල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ බවත් සෙසු පිරිස බිඳුණුවැව දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික රනිල් ප්‍රියංකර මහතා සඳහන් කළේය.  මොවුන්ගේ දැනට හඳුනාගත් ආශ්‍රිතයන් 40 ක් පමණ සිය නිවෙස් වල නිරෝධායනයට ලක්කර සිටින බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂක රනිල් ප්‍රියංකර මහතා සෙසු ආශ්‍රිතයන් සොයා පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවද පැවසීය.


මොනරාගල

-ජිනපාල දිසානායක- මොණරාගල දිස්ත්‍රික්කය පුරා සති පොළවල් සති දෙකකට වසා දමන ලෙස පෙරේදා 25වැනිදා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කොරෝනා කමිටු රැස්වීමේදී තීරණය කළ බව බිබිල සහකාර ප්‍රාදේශීය ලේකම් ධනංජනී පුෂ්පමාලි මෙනෙවිය ප්‍රකාශ කළාය. ඒ අනුව දිස්ත්‍රික්කය පුරා සති පොළ නැවත දැනුම් දෙනතුරු නොපවත්වන ලෙස ප්‍රාදේශීය සභා මගින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මහජනතාව දැනුවත් කළේය. මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටුව සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සංවර්ධන  කමිටු සභාපති කුමාරසිරි රත්නායක, පළාත් පාලන හා නාගරික සංවර්ධන කොමසාරිස්වරුන් සමග ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු නිලධාරීහු මෙම රැස්වීම සඳහා සහභාගී  වූහ.


අම්පාර

 අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ පිහිටි දමන ප්‍රදේශීය රෝහල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා හදිසි අවශ්‍යතා මත පෙරේදා 25 වැනිදා සිට වෙන් කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබිය.  මෙම රෝහල කොරෝනා ආසාදිත ළමයින් සහ කාන්තාවන් සඳහා වෙන් කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.  එය පිහිටුවීමත් සමග මේ වනවිට කොරෝනා ආසාදිත ළමයින් දෙදෙනකු සහ කාන්තාවන් හතරදෙනෙකු නේවාසික රෝගීන් ලෙස ලියාපදිංචි කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. කොරෝනා ආසාදිත රෝගීන් සඳහා අම්පාර සහ පදියතලාව වැනි දුර ප්‍රදේශවල කොරෝනා මධ්‍යස්ථාන පිහිටුවා ඇති නමුත් ළමා හා කාන්තා රෝගීන්ට මධ්‍යස්ථානයක් නොතිබිණි. එම හේතුවෙන් ඔවුන් මඩකළපුව, කාත්තන්කුඩි, කරදියනාරු, වැලිකන්ද වැනි ඈත ප්‍රදේශවලට රැගෙන යාම සෞඛ්‍ය අංශවලට දුෂ්කර වී තිබූ බව කියති.  මේ වනවිට දමන රෝහලේ සියලුම වාට්ටු සහ අනෙකුත් ඒකක කොරෝනා රෝගීන් සඳහා යොදා ගෙන ඇති අතර  වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් සහ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට එම පරිශ්‍රයේ ඉදිකර ඇති නව ගොඩනැගිල්ල යොදා ගෙන ඇත.

 අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉකුත් 24 වැනිදා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත නවදෙනකු වාර්තා වී ඇතැයි උහන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. මෙම පරීක්ෂණ සඳහා උහන වෑරැකැටගොඩ මායාදුන්න ආදී ප්‍රදේශවල පවුල් ඒකකවලින් 22 දෙනකු යොදාගෙන ඇති බව සඳහන් වේ.  මෙම පිරිස ආසාදනය වූ ආකාරය ගැන සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇති අතර, ඉදිරි දිනවල සිදුකරන ක්ෂේත්‍ර වැඩසටහන් සම්බන්ධව එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත විය.



මදුරාවල

මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ පසුගිය දින දෙක තුළ කොරෝනා රෝගීන් 12 දෙනකු හමුවීමත් සමග නැවත කොරෝනා වසංගතය හිස ඔසවමින් තිබෙන බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවැසුවාය.  මෙහිදී පෙරපාසල් දරුවකු සහ එකම පවුලේ 4 දෙනකු ද මෙසේ කොරෝනා රෝගයට ගොදුරු වී ඇති අතර පසුගිය අලුත් අවුරුදු සමයේ විවිධ හැසිරීම් සහ එක්රැස්වීම් මත මෙම තත්වය වර්ධනය වී ඇති බව ද වෛද්‍ය නිලධාරිනිය පෙන්වා දෙයි.



බන්ධනාගාර රැදවියන්

දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් 205 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.   ඉන් 28 දෙනකු කාන්තා රැඳවියන් බව ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. .මෙම රෝගී රැඳවියන්ගෙන් බහුතරයක් මහනුවර පල්ලන්සේ   නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා ප්‍රතිකාර ලබාදෙන බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා කාන්තා රැඳවියන් 28 දෙනා අඹේපුස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇතැයි ද ප්‍රකාශ කළේය.
බන්ධනාගාරවල රැඳවියන් අතරේ කොරෝනා ආසාදනය වීම වැළැක්වීමට පියවර රැසක් ගෙන ඇතැයි කී රත්වත්තේ මහතා සිරකරුවන් බැලීමේ අවස්ථා ද සීමා කර ඇති බව සඳහන් කළේය.. බන්ධනාගාරවල ක්‍රියාත්මක කිරීමට වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද හඳුන්වා දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.