මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
මොරටුව
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පාර මාරුවෙමින් සිටි 35 හැවිරිදි කාන්තාවක 28දා රාත්‍රී ලොරියක හැපී අනතුරට ලක්වූ අතර දෙදරු මවක වූ ඇය බරපතල තත්වයේ පසුවෙද්දී ප්‍රතිකාර ලබමින් සිටින අතර කොරෝනා පීසීආර් පරීක්ෂාවකටද ලක් කර තිබුණි.
අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ලද වාර්තාව අනුව අනතුර සිදුවන අවස්ථාව වනවිට ඇය කොරෝනා රෝගයෙන් ආසාදනයවී ඇති බව තහවුරු විය.
ජෝසප් පෙදෙස කටුකුරුන්ද ප්‍රදේශයේ ඇය වාසය කළාය.
බණ්ඩාරගම
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සහ ඊට අනුයුක්ත ආයතන දෙකක සේවක සේවිකාවන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් ප්‍රාදේශීය සභාව ඇතුළු එම ආයතන දෙක ඊයේ (29) දින සිට තාවකාලිකව වසා දැමු බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය. බණ්ඩාරගම නගරයේ ආයුර්වේද මධ්‍යස්ථානයේ ඖෂධ සංයෝජකවරයාට, කායවර්ධන මධ්‍යස්ථානය මුරකරුට මෙන්ම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකාරිණියකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව සභාපතිවරයා කීය.
ඊට අමතරව තවත් සේවක සේවිකාවන් කිහිප දෙනෙක් විවිධ රෝග ලක්ෂණ පහළ කරමින් සිටින බව සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය. එම සේවක සේවිකාවන්ගේ මුල් ආශ්‍රිතයන් හඳුනාගෙන අද 30 දින බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී පී.සී.ආර්. පරික්ෂණ සිදුකිරීමටත් කටයුතු යොදා ඇතැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මුල්ලේරියාව
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 60 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. පුද්ගලයන් 283 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරිමෙන් අනතුරුව මෙම පිරිස හඳුනාගෙන ඇත. අංගොඩ කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් සහ තවත් පුද්ගලික ආයතනයක සේවකයන් 37ක් ද මෙම පිරිස අතර සිටින බව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් ෆොන්සේකා මහතා පැවසීය. සෙසු ආසාදිතයන් හමුවී ඇත්තේ අංගොඩ සහ හිඹුටාන ප්‍රදේශවලින් බවද හෙතෙම කීය.
කොළොන්නාව
කොළොන්නාව කොට්ඨාසය තුළින් පෙරේදා (28 වැනිදා) කොවිඩ් ආසාදිතයන් 63 දෙනකු හමුවී ඇත. ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 52කුත්, කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 11 දෙනකුත් හඳුනාගෙන ඇත.
අතුරුගිරිය-කඩුවෙල
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කොට්ඨාසය ඇතුළත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර අතුරුගිරිය හා කඩුවෙල නගරාශ්‍රිතව වෙළෙඳ ප්‍රජාව පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමේ වැඩසටහන් කිහිපයක් ආරම්භ කළ බව එම කාර්යාලය පවසයි.
පසුගිය 27 වන බදාදා අතුරුගිරිය නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් 250ක ගෙන් ලබාගන්නා ලද පී.සී.ආර්. පරික්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති අතර ලබන මැයි පළවන සෙනසුරාදා කඩුවෙල සති පොළ වෙළෙඳුන් පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය මහතා පැවසීය. දැනට කඩුවෙල ග්‍රාම සේවා 56 අතරින් කිහිපයක වාර්තාවන කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග අයි.ඩී.එච්. හා හෝමාගම රජයේ රෝහල්වල යැවීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.
අනුරාධපුර
අනුරාධපුර නගරයෙන් තවත් කොරෝනා රෝගීන් 11 දෙනකු පෙරේදා (28දා) හඳුනාගත් බව අනුරාධපුර
මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කරයි. අනුරාධපුර, පුරහල පෙදෙස අංක දෙක ප්‍රජා
ශාලාවේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මෙම රෝගීන් 11 දෙනා හඳුනාගත් බව අනුරාධපුර මහ නගර
සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
පුද්ගලයන් හැටකට ආසන්න සංඛ්‍යාවක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ බවත් ඒ අතරින් මෙම 11 දෙනා
හඳුනාගත් බවත් පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම රෝගීන් 11දෙනා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර
කිරීම සඳහා වෙන් කර ඇති අනුරාධපුර මෙත්සිරි සෙවණ රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද
කියයි. මෙම රෝගීන් 11 දෙනාම අනුරාධපුර නගරයේ පදිංචිකරුවෝ වෙති.
අත්තනගල්ල
අත්තනගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ පිහිටි ස්වාමීන් වහන්සේලා 25කට අධික පිරිසක් වැඩ වාසය කරන පිරිවෙන් විහාරස්ථානයක් මුළුමනින්ම වසා දමා එහි හිමිරුන් පිරිසක් ස්වයං නිරෝධායනට ලක්කළ බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නිවසක පැවැති උදෑසන දානයක දී මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුට කිසිදු මුඛ ආවරණයක් ද නොමැතිව දන් පිළිගන්වන ලද සහ පිරිකර පූජා කරන ලද බව පැවසෙන වැඩිහිටියකු දානයෙන් දින කිහිපයක් තුළ කොරෝනා වසංගතයට ගොදුරුවීම නිසා පිරිවෙන් විහාරස්ථානය වසා දමා එහි හිමිවරුන් පිරිසක් මෙසේ නිරෝධායනය කිරීමට සිදුවූ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.සී. රාජස්පක්ෂ මහතා පැවැසීය.
බුලත්සිංහල
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා සැත 170 කට පමණ ඊයේ (29) බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී පීසීආර් පරික්ෂණ සිදුකළ බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. රෝගීන්ගේ ආශ්‍රිතයන් හා අහඹු ලෙස තෝරාගත් පිරිසක් මෙම පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
ගම්පහ
කොරෝනා දෙවැනි රැල්ලේ ඊයේ (29) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 20,026 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගත වූ පැය 24 ක කාලයක් තුළ ආසාදිතයින් 234 දෙනකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.. ගතවූ පැය 24 තුළ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 43 දෙනකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බවත් දිවුලපිටිය කොට්ඨාසයෙන් -33 ක්, සීදුව-25 ක්, ගම්පහ-22ක් සහ වත්තල කොට්ඨාසයෙන් 21 දෙනකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කීය.
මෙම ආසාදිතයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදු කළ ක්ෂේත්‍ර පී.සී.ආර්. පරීක්ෂාවේදී 189 දෙනකු සහ රෝහල්වල සිදු කළ පරීක්ෂාවේදී 45 දෙනෙකු හමුවී තිබේ. දිස්ත්‍රික්කයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇඳන් 511 න් ඊයේ (29) උදෑසන වනවිට ඇඳන් 437 ක් පිරී තිබූ බව සඳහන් කළ අධ්යක්ෂවරයා ගතවූ පැය 24 තුළ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ආසාදිතයින් 92 කු ඇතුළත්ව ඇති බවද කීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 4575 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ (29) දිනයේ පුද්ගලයින් 2517 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට ලක්කොට ඇත.
කොරෝනා මර්දන ඔක්ෂ්ෆර්ඩ් ඇස්ටා සෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය අංශවලට ලබාදීම අද (30) දින සිට ආරම්භ කරන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පැවැසීය. මේ සඳහා එන්නත් 8000 ක් ලැබී ඇති බවත් මෙම එන්නත් රෝහල් කාර්ය මණ්ඩල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු අදාළ කාර්ය මණ්ඩල සඳහා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් අධ්යක්ෂවරයා සඳහන් කළේය. මෙහි පළමු මාත්‍රාව දිස්ත්‍රික්කයේ 2,50,000 ක පිරිසක් සඳහා ලබාදීම සිදු කොට ඇති බවත් එම සියලුම අයට මාස තුනක් අවසන් වීමට පෙර අදාළ එන්නත ලබා දීම සිදු කෙරෙන බවත් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවැසීය.
මඩකළපුව
මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ මඩකළපුව නගරයේ 170 දෙනකුට කළ කොරෝනා ඇන්ටිජන්
පරීක්ෂණයෙන් පොලිස් නිලධාරීන් එක් අයකු ඇතුළු පස් දෙනකුට ආසාදනය තහවුරු වී ඇති බව කොට්ටමුනේ
මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. මිතුන්රාජ් පවසයි.
මඩකළපුව මූලස්ථානය පොලිස් බල ප්‍රදේශයේ බැංකුවල සේවය කරන සේවකයන් හා මූලස්ථාන පොලිස්
ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙම පරීක්ෂණ පැවැත්විණි.
මාතලේ
මාතලේ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක ප්‍රධාන සුපවේදියාට සහ මානව සම්පත් ඒකකයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිහු පවසති. මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව මාතලේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තහවුරු කළහ. කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් හෝටලයේ කටයුතු පවත්වාගෙන යන බවත් ඊයේ (29 වැනිදා) මංගල උත්සව ඇතුළු උත්සව කිහිපයක් පැවැත්වුණ බවද සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කළේය.
කොබෙයිගනේ
කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 24ක් මේ වනවිට හඳුනාගෙන ඇති
බව වාර්තා වේ.
අප්‍රේල් මස 14 දිනෙන් පසු 28 දින දක්වා කළ පීසීආර් පරීක්ෂණවලදී කොට්ඨාසය තුළ මෙම ආසාදිතයන්
හඳුනාගත් බව කොබෙයිගනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආසිරි මහතා පැවැසීය.
ආසාදිත රෝගීන්ගේ ආශි‍්‍රතයන් සොයා නිරෝධායනයට ලක් කරමින් ඔවුන් පදිංචි ග්‍රාම නිලධාරි වසම් අනුව
ආසාදිතයන් හඳුනාගැනීමට පරීක්ෂණ සිදු කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
හම්බන්තොට
හම්බන්තොට කොවිඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඊයේ දින වනවිට කොවිඩ් ආසාදිතයන් 230 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට මහ රෝහලේ කොවිඩ් රෝගී ප්‍රතිකාර ඒකකයේ සහකාර අධ්යක්ෂ වෛද්‍ය වී.ජී.එස්.සී. උබේසේකර කියයි. ඉන් එක් අයෙක් විදේශීය ජාතිකයෙකි. කෙසේ වෙතත් හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා මේ වනවිට රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීමද සීමා කර තිබේ.
නාවලපිටිය
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදී පසුගිය 27දා දින කොරෝනා ආසාදිත රෝගීන් ලෙස හඳුනාගත් සිවු
දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑම පමාවීමෙන් රෝහල් අගුපිලේ දමා ඇති පුටු මතට වී
පැය 5ක් පුරා ආහාර ජලය හා වැසිකිළි කැසිකිළි පහසුකම් පවා නොමැතිව සිටීමේ පුවතක් ඔවුන් විසින්
සමාජ මාධ්‍යයේ පළ කර තිබීම සමාජයේ දැඩි කතා බහට ලක්ව තිබේ.
නාවලපිටිය, දෙකිඳ, මාපාකන්ද හා පල්ලේගම යන ප්‍රදේශවල පදිංචි තරුණයන් සිවු දෙනකු මෙම
තත්ත්වයට මුහුණ පා තිබේ.
ඇතිවූ රෝගී තත්ත්වයන් සමඟ නාවලපිටිය රෝහලේදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී මොවුන් ආසාදිතයන් ලෙස
හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යවනතුරු මෙසේ රෝහලේ මිදුලේ තබා ඇති බව ඔවුහු පවසති.
පැය 5කට පමණ පසු 27දා සවස 6ට මොවුන් පදියතලාව ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබේ.
මෙම පමාව පිළිබඳව හා මොවුන්ට ජලයවත් නොමැති බවට නඟන චෝදනා සම්බන්ධයෙන් රෝහලේ
බලධාරීන්ගෙන් විමසුවද ඒ පිළිබඳව සොයා බලා ප්‍රකාශ කරන බව සඳහන් කළේය.
වැලිමඩ
වැලිමඩ ප්‍රදේශයේ රජයේ බැංකුවක 14 දෙනෙකු කොරෝනා ආසාදනයවීම නිසා එම බැංකුව වසා දමා ඇත. ඊයේ 29 දිනයේ බැංකුවේ සේවය කළ 18 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කිරීමේදී 5 දෙනෙකු හැර සෙසු අයට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබී තිබේ. නිරෝධායන කටයුතු අරඹා ඇත.
පදියතලාව
පදියතලාව ප්‍රදේශයේ නාවින්න සහ සරණගම ගම්මාන දෙකේ පවුල් තුනනික් පෙරේදා (28) දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු හඳුනා ගත් බව පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පී. කේ. රත්නසිරි පවසයි.
ගලහ
ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු හමුවීමත් සමග ඔවුන් හා ඇසුරු කළ පවුල් දහ නවයක පුද්ගලයන් අනූ තුන් දෙනකු ඔවුන්ගේ නිවෙස් තුළම ඊයේ දින (28) නිරෝධායනයට ලක්කොට ඇත.
ගලහ බෙල්වුඩ් ජනපදය හා කිතුල්මුල්ල ප්‍රදේශවලින් මෙම රෝගීන් දෙදෙනා හමුවී ඇති අතර ඉන් එක් අයකු කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කොට අවුරුදු නිවාඩුවට ගමට පැමිණි අයෙකි අනෙක් පුද්ගලයා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ පසු සිදුකළ පීසිආර් පරීක්ෂණයේදී වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
තලාතුඔය
තලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩගම, ඇල්ලෙනකුඹුර, මොරගල්ල හා කැටවල ලෙව්ල යන ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් සිව්දෙනකු ඊයේ (28) වාර්තා වී තිබේ. මොවුන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ඇත.
කල්මුණේ
කල්මුණේ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කරන සේවිකාවක් කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමග එම කාර්යාලය ලබන 11 වැනි දින දක්වා වසා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. සියලුම සේවක සේවිකාවන් නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
පාදුක්ක
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් හය දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක උදිත නලින් රණසිංහ පැවසීය. මෙම පිරිසෙන් සිව්දෙනකු පාදුක්ක නගරය අවට නිරෝධායන කාලය අවසන් කර සිටියදී පීසීආර් පරීක්ෂණවලට යොමුකළ බවත්, ඉතිරි දෙදෙනා වීරියගල්ල ප්‍රදේශයේ අය බවද සෞඛ්‍ය අංශ පවසයි.
නාඋල
දේශීය සංචාරකයන් බහුලව පැමිණෙන නාඋල ප්‍රදේශයේ සංචාරක ස්ථාන වෙත නැවත දැනුම්දෙනතුරු පැමිණීමෙන් වැළකී සිටින්නැයි නාඋල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉල්ලා සිටියි. ප්‍රකට සංචාරක ගමනාන්තයක් වූ අවුඩැල්ල අමුන ප්‍රදේශය දැනටමත් හුදකලා කර ඇති අතර එම ප්‍රදේශයෙන් 28 වන දා දහවල් වන විට කොවිඞ් ආසාධිතයන් 20 දෙනෙකු හමුවී තිබේ. ආශ්‍රිතයන් රැසක්ද හමුවී තිබේ. ඓතිහාසික නාලන්දා ගෙඩිගේ, ඕපල්ගල දිය ඇල්ල, නාලන්දා ජලාශය, බෝවතැන්න ජලාශය, අරංගල පර්වතය, වෑමැඩිල්ල, මොරගහකන්ද යන ප්‍රදේශවල සති අන්තයන්හි සහ නිවාඩු දිනයන්හි සංචාරක පිරිස් බහුලව ගැවසෙති. නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 28 වැනිදා වන විට වාර්තාවන සමස්ත කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ යෑමත් සමග ප්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයන්ගේත් ආරක්ෂාව සලකා ප්‍රදේශයේ ගැවසීමෙන් වැළකී සිටින්නැයි සභාපති සනත් දසනායක මහතා ඉල්ලා සිටියි.
පන්නල
පන්නල ඇඟලුම් කම්හලක සේවකයකූ සහ සේවිකාවක කොවිඩ් ආසාදනය වීමෙන් 28දා හදිසියේ මිය යාමෙන් පසු එදින පස්වරු 6.00 සිට එම කම්හල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පන්නල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම සේවකයා ගිරිඋල්ල මත්තේගම ඔපිසර වත්තේ පදිංචි කරුවෙකි. 43 හැවිරිදි දෙදරු පියෙකූ වූ ඔහු එම ඇඟලුම් කම්හලේ කාර්මික නිලධාරියෙකි. 27 වැනි දිනද සේවයට ගොස් පැමිණ සිටි ඔහු 28 වන දින පෙරවරුවේ පපුව රිදෙන බව පවසමින් පුටුවක වාඩි වූ බවත්, සිහිසුන්ව සිටි ඔහු වහා රෝහල වෙත ගෙන ගියද ඒ වන විටත් මිය ගොස් සිටි බව අසල්වැසියෝ පවසති.
අනෙක් කාන්තාව ද මෙම ඇඟලුම් කම්හලේම සේවය කළ පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇයද රෝගාතූර වී කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය.
කුලියාපිටිය
කුලියාපිටිය ලක්ෂ්මිපුර නගර සභා නිවාස සංකීරණයේ කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබූ 55 දෙනකු පූනානි මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට ඊයේ (29දා) සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා යුද හමුදාව එක්ව කටයුතු කළහ. එම නිවාස සංකීරණයේ කුලියාපිටිය නගර සභාවේ සේවය කරන කම්කරුවන් රැසක් දිවිගෙවන අතර මීට ඉහතදී ද එලෙසින් රැගෙන ගිය පිරිසක් සුව වීමෙන් පසු පැමිණ තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉතා කුඩා භූමිභාගයක පවුල් එකසිය හතක සාමාජික සාමාජිකාවන් පන්සියය ඉක්මවූ පිරිසක් එහි වාසය කර තිබූ අතර එම නිවාස සංකීරණය පුරා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර තිබූ බවද සෞඛ්‍ය අංශ කියයි.
අක්මීමන
හික්කඩුව ප්‍රදේශයේ මළ ගෙදරකට ගිය කෙරදේවල ප්‍රදේශයේ පියකුට හා දියණියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තෙලිකඩ පොලිසිය පවසයි.
මෙම මළ ගෙදරට සහභාගි වී ඇත්තේ පියා වන අතර ඔහුගේ දියණියට ද කොරෝනා වයිරසය අාසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
වලල්ලාවිට
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියට සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට කොවිඩ්-19 වැලඳීම නිසා වලල්ලාවිට ප්‍රාදේශීය සභා කාර්යාලයේ සාමාන්‍ය කටයුතු තාවකාලිකව නවත්වා අත්‍යවශ්‍ය සේවා කටයුතු පමණක් පවත්වාගෙන යාමට තීරණය කළ බව එහි ලේකම් පාලිත සිසිර කුමාර පැවසීය. වලල්ලාවිට ලේදොළ ප්‍රදේශයේ කොටහලු මඟුල් ගෙයක් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් හඳුනා ගැනිණි. එම නිවසට ඥාති සම්බන්ධයක් පැවැති වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව පසුව හෙළිවී ඇත.
මොරගහහේන
හොරණ, මොරගහහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂා මගින් එහි සේවකයන් 17 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි මොරගහහේන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එම්. බණ්ඩාර පවසයි. මෙම කර්මාන්තශාලාවේ සේවකයන් 50 දෙනෙකු පමණ සේවය කරන අතර එය තවකාලිකව වසා දමා ඉතිරි සියලු සේවකයන් නිරෝධායනයට යොමුකර ඇත.
අඹගමුව
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඉකුත් 24 දින ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළ අසලදී සිදු කරන ලද අහඹු පීසීආර් පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. අඹගමුව, මස්කෙලිය, කොටගල, ලිදුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් මෙම අසාදිතයන් 26 දෙනා හමු වී ඇති බවත්, එම ආසාදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයේ තම නිවාසවලට පැමිණි පිරිසක් බවත්, අඹගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියයි.
සියඹලාණ්ඩුව
සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 වැලඳුණු රෝගීන් 17 ක් පෙරේදා (28) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී සොයාගත් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඉන් දෙදෙනකු උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මිල්ලනිය
මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ පසුගිය දින තුන තුළ පී.සී.ආර්. පරීක්ෂණ 122 ක් සිදුකර ඇති අතර එයින් 23 දෙනකු කොරෝනා ආසාදිතයන් බව මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
පොල්ගහවෙල
පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුළ ඊයේ (29) දා වන විට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ 10 දෙනකු හඳුනාගත් බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් කියයි.
ඒ අනුව මේ වනවිට පොල්ගහවෙල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 30 දෙනකු හඳුනාගෙන ඇත.
හෝමාගම රෝහල
හෝමාගම මූලික රෝහලේ කායික වෛද්‍ය වාට්ටු සහ ශල්‍ය වෛද්‍ය වාට්ටුව හතරම කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරි ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය. මේ වන විට රෝගීන් එකසිය අසූ දෙකක පමණ පිරිසක් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා කීය. ඊයේ 29 දින වන විට කොරෝනා ආසාදිත ගර්ෂණී මාතාවන්ට ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවේ රෝගීන් දහතුන් දෙනෙක් ද, කොරෝනා ආසාදිත කුඩා දරුවන් දොළොස් දෙනෙක්ද මෙහි ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා කීය
ප්‍රතිකාර ලබන රෝගීන් සුවය ලබා පිටව යන තත්වය බලා නව රෝගීන් ඇතුළත් කර ගන්නා බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
මාතර සමුපකාර රෝහල
කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දෙන්නේ නම් ඒසඳහා තම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සුදානම් බව මාතර සමුපකාර රෝහලේ සභාපති චමින්ද ගුණසේකර මහතා පැවසීය. විශේෂයෙන්ම මාතර මැද්දවත්තේ පිහිටි සමුපකාර මණ්ඩල ගොඩනැගිල්ලේ ඒ සඳහා කාමර පහසුකම් ඇති බවද එම පරිශ්‍රය ප්‍රමාණවත් නොවන්නේ නම් සංචාරක හෝටලයක් හෝ කුලී පදනම මත ලබාගෙන කොරෝනා ප්‍රතිකාර සිදුකිරීමට කැමැත්තෙන් පසුවන බවද ඒ මහතා කීය.
කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල අධික තදබදය එමගින් අවම කරගත හැකි බව කී ගුණසේකර මහතා දිවයිනේ අනෙකුත් පෞද්ගලික රෝහල් ද බොහෝ විට ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බව ප්‍රකාශ කළේය. සහනදායි හා සාධාරණ මිල ගණන් යටතේ එම සේවාව සිදුකරන බවද ඔහු කීය. රට තුළ උද්ගතව ඇති තත්ත්වයත් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එම තීරණය ගත් බවත් එය රජයට ද විශාල අස්වැසිල්ලක් වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
කළුතර හිරගෙදර
කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනකු සඳහා කරන ලද පී.සී.ආර්. පරික්ෂණවල දී රැඳවියන් 32කට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි කළුතර සෞඛ්‍ය බලධාරියෙක් ඊයේ (29) පස්වරුවේ පැවසීය. අහඹු ලෙස තෝරාගත් රැඳවියන් 40 දෙනෙක් වෙනුවෙන් ඉකුත් 27 දා කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (29) පස්වරුවේ ලැබීමෙන් පසු මේ බව තහවුරු වී ඇතැයි ඒ මහතා පැවසීය.
මේ බව තහවුරු කර ගැනීම සඳහා කළුතර සෞඛ්‍ය බලධාරින් සහ බන්ධනාගාර බලධාරිගෙන් විමසීමක් කළ අතර, ඔවුන්ට තොරතුරු ලබා දීමේ බලයක් නොමැති බව ප්‍රකාශ කළේය.
0 Comments