උප සභාපතිවරුන් හය දෙනකුටම තනතුරු හැර යාමට සිදු වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණයේ දී හිටපු සුපිරි ධාවන ශුරි කේ. වී. දමයන්ති දර්ශා මහත්මිය ඡන්ද 53ක් ලබා උප සභාපති ධුරයට පත්වූවාය. කෙසේ වුවත් නිලවරණයෙන් පත්කර ගන්නා උප සභාපති ධුර හතෙන් අවසන් උප සභාපතිධුරයට පත් ඇගේ එම පත්වීම නිලවරණයේ දී කතාබහට ලක්වූයේ කෙස් ගහෙන් එල්ලීමක් ලෙසිනි. සුසන්තිකා ජයසිංහට පමණක් දෙවැනි ශ්‍රී ලංකාවෙන් මෙතක් පහළ වූ සෙසු හොඳම කෙටි ධාවන ශූරිය ලෙස අදටත් සැලකෙන ආසියානු ශූරතා වාර්තාලාභිනියක් ද වන දර්ශා මේ වනවිට ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරියයි. ඇය එහි මිළඟ සභාපතිනිය ලෙස නාම යෝජනා බාර දීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණයේ ඡන්ද විමසුම උප සභාපති ධුර හා උප භාණ්ඩාගාරික ධුරයට පමණක් සීමා විය. පසුගිය නිල කාලයේ සභාපති ධුරය දැරූ මේර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රේමා පින්නවල හා භාණ්ඩාගාරික ධුරය දැරූ ශාන්ත සිල්වා යන මහත්වරු යළිත් එම ධුර සඳහා ඉදිරි සිවු වසරක කාලයක් සඳහා පත්වූයේ නිතරගයෙනි. කෙසේ වුවත් උප සභාපති ධුර හතක් පිරවීම සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත්වීමෙන් ඒ සඳහා ඡන්ද විමසුමකින් සිදු කෙරිණි. ඒ සඳහා හිටපු සුපිරි ධාවන ශූරියක් ද ඉදිරිපත්වීමෙන් උප සභාපතිධුර ඡන්ද විමසුම මෙවර නිලවරණයේ දී වඩාත් අවධානයට යොමු විය.
මේ අතර දමයන්ති දර්ශ මහත්මිය හා සමාන ඡන්ද ගණනන් (53 බැගින්) ලබමින් උප සභාපති ධුරයට පත් වූ ප්‍රසන්න ඉන්දික මහතා නිලචරණය ආරම්භ වූ අවස්ථාවේදී තමන් නිලවරණයට ඉදිරිපත් වෙමින් ලබාදුන් බව කියන ඡන්ද පොරොන්දුවක් දිවුරුම් පෙත්සමක් මගින් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය. නිලවරණයේදී තමන් උප සභාපති ධුරයට පත් වුවහොත් දිවයින්නේ සියලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් වෙත රුපියල් 20,000ක් බැගින් ලබාදෙන බවට දුන් බව කියන පොරොන්දුවක් මෙලෙස ඉල්ලා අස්කර ගත් බව වාර්තවේ. ඔහුගේ මෙම ඡන්ද පොරොන්දුව අල්ලස් ගණයට වැටෙන බවට පළවු මත සැලකිල්ලට ගනිමින් ඔහු මෙම පොරොන්දුව ඉල්ලා අස්කර ගත් බව ද වාර්තා වේ. මේ අතර මේර් ජනරාල් හරේන්ද්‍ර රණසිංහ, අයිරාංගනි රූපසිංහ, අනිල් වීරසිහ එච්. ඩබ්. නිමල්සිරි හා ඒ. එස්. එම්. අක්මාල්, මෝර් ජනරාල් මහින්ද මුදලිගේ යන එතෙක් උප සභාපතිධුර දරමින් සිටි අපේක්ෂකයෝ හය දෙනෙක් මෙවර පරාජයට පත්වන අතර ලාල් චන්ද්‍රකුමාර මහතා පමණක් එතෙක් ඔහු දැරූ උප සභාපතිධුරය රැක ගැනීමට සමත්විය.
මෙවර මලල ක්‍රීඩා නිලවරණයේදී වඩාත්ම අවධානය දිනා ගත් කරුණක් වන්නේ දේශීය මලල ක්‍රීඩාවට වැඩිම දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් උප සභාපති ධුර සඳහා ඉදිරිපත් වූ මේජර් ජනරාල් හරේන්ද්‍ර රණසිංහ හා මේජර් ජනරාල් මහින්ද මුදලිගේ යන මහත්වරුන්ගේ පරාජයයි. දේශීය මලල ක්‍රීඩා සංවිතවල කල් ගෙවන බහුතරයක් යුද හමුදාවට බැඳුණු එහි අනුග්‍රහය ලබන්නෝ වෙති. මේ අතර සමන් කුමාර ගුණවර්ධන මහතාගේ මෙවර පත්වීමේ විශේෂත්වය වන්නේ මලල ක්‍රීඩා දත්ත කාර්යසාධන නිලධාරි ධුරයට ඔහු සෙනසුරාදා (24) පැවැති නිලවරණයේ දී පත් වන්නේ පිට පිටම 27 වැනි වසරට වීමයි.
බස්නාහිර පළාත් සහකාර ක්‍රීඩා අධ්යක්ෂ ධුරය දරන ජගත් ඥනිසිරි සිල්වා මහතා වැඩිම ඡන්ද ගණනක් ලබමින් (62) උප සභාපතිධුරයට පත්විය. දිස්ත්‍රික් අනු සංගම් හා ක්‍රීඩා සමාජ 39ක නියෝජිතයෝ මෙවර නිලවරණයට සහභාගි වූහ. “ශ්‍රී ලංකා මලල ක්‍රීඩා' යනුවෙන් අද ව්‍යවහාර වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සරය වසර 2022 පෙබරවාරි 18 වැනිදට යෙදී තිබේ. සෙනසුරාදා පත්වූ විධායක සභාවට එම ශත සංවත්සර උත්සවය මෙහෙයවීමේ අවස්ථාව හිමිව තිබේ.
-නාමල් පතිරගේ-
0 Comments