dambulla-incident

විදේශ රටකින් ගෙනැවිත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක නතර කර තිබූ සැක සහිත පොල් තෙල් කන්ටේනරයක් ඊයේ (1) පස්වරුවේ පොලිස් භාරයට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.මෙම පොල්තෙල් කන්ටේනරයට වරායෙන් මුදාගැනීමේ තත්ව වාර්තා හෝ ප්‍රවාහන බලපත්‍ර නොතිබූ හෙයින් පොලිස් බාරයට ගත් බව දඹුල්ල පොලිසිය කීය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතා සහ පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පස්වරු හතයි තිහට පමණ මෙම ස්ථානය පරීක්ෂා කළේය. ඒ අවස්ථාවේ දී කටේනර් රථය සම්පුර්ණයෙන්ම ගබඩාව ඇතුළට දමා බට වලින් එම ගබඩාවේ වහලය මත තනා තිබූ ටැංකියකට මෙම පොල්තෙල් පොම්ප කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව නගරාධිපතිවරයා කීය.එම කටේනර් රථය පොල් තෙල් ලීටර් 28,000ක් පමණ තිබී පාරිභෝගික අධිකාරිය මීට පෙරද දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පොල් තෙල් අලෙවි කරන ස්ථානයක් මුද්‍රා තබා තිබිණි. මෙම පොල් තෙල් කන්ටේනරය පෙන්වා ඇත්තේ ද මුද්‍ර තැබුණු පොල් තෙල් අලෙවි මධ්‍යස්ථානයේ හිමිකරු බව පොලිසිය පවසයි.මෙම පුද්ගලයා සතුව ගබඩාව සඳහා නගර සභාවෙන් වෙළෙඳ බලපත්‍රයක් හෝ ලබා ගෙන නොමැති බව නගරාධිපතිවරයා කීය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය පස්වරු 6 ට වසා දැමීමෙන් පසුව මෙම කන්ටේනර් රථය එම මාර්ගයේ පිටුපස කොටසෙන් ගෙනවිත් ගබඩාවක් තුළ බාමින් සිටීම සැකයට තුඩු දුන් බව ද පැවසීය. පොල්තෙල්වල ලියකියවිලි සහ ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා ද යන්න 02 දින පරික්ෂා කර බලන බවත් එතෙක් මෙම පොල්තෙල් පිරවූ කන්ටේනර් රථය පොලිස් භාරයට ගත් බවත් හෙතෙම සඳහන් කළේය. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතා කියා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මේ පිළිබඳව වගකිවයුතු අංශ දැනුවත් කොට 2 දින ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන තෙක් පොල්තෙල් කන්ටේනර් රථය පොලිස් භාරයට ගත් බවය.

 (දඹුල්ල කාංචන කුමාර ආරියදාස)