digital-tv-sri-lanka-ISDB-T

මේ වනවිට ලෝකය පුරා රූපවාහිනී නාලිකා විකාශය කරනු ලබන ඩිජිටල් තාක්ෂණයට අනුගත වීමට අවස්ථා කිහිපයකදීම පැවති රජයන් සාකච්ඡා හා ගිවිසුම් ගතවීම සිදු කළත් ශ්‍රී ලංකාව එම තාක්ෂණයට එකතුවූයේ නැත.
දිගින් දිගටම පැරණි ඇනලොග් තාක්ෂණය භාවිත කරමින් සිටි නිසා තත්වයෙන් උසස් රූපවාහිනී රූපරාමු නැරඹීමේ අවස්ථාව අහිමිවී ගිය අතරම මේ හේතුවෙන් තවත් ටිකකලකින් ලෝකයෙන්ම තුරන් වී යන පැරණි තාක්ෂණයකට ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර අයත්වී තිබිණි.


2014දී ජපාන අගමැති සින්සෝ අබේ එවක ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සමග ISDB-T තාක්ෂණය ඔස්සේ ඩිජිටල් රූපවාහිනී පද්ධතියක් ලංකාවේ ස්ථාපිත කරන්නට ගිවිසුම් ගතවූ නමුත් මැතිවරණය සමග එම කටයුත්ත පසෙකට ගිය අතර වසර 7 කට පසු නැවතත් ඒ ගැන වත්මන් රජය උනන්දුවී තිබේ.


ඒ අනුව කැබිනට් මණ්ඩලයට ජයිකා ආයතනය හරහා ගෙන ආ ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනී පද්ධතියක් පිහිටුවීමේ යෝජනාව අනුමතවී තිබේ.
 ලෝකය පුරා දැනට අලෙවි කරන ඩිජිටල් රූපවාහිනී යන්ත්‍ර හා විකාශනයන් ඩිජිටල් තාක්ෂණ ක්‍රම 4 ක් ප්‍රධාන වශයෙන් භාවිත කරන අතර ලංකාව සම්බන්ධ වීමට යන්නේ ISDB-T යන තාක්ෂණ සම්මතයන්ටය. එම සම්මතයන් ජපානය මගින් පාලනය කරනු ලබයි. මෙම සම්මතයන් දැනට ජපානයේත්, අප්‍රිකානු රටවල් දෙකකත් සමස්ත දකුණු ඇමරිකානු මහද්වීපයේත් භාවිත වේ.
කෙසේ වෙතත් මෙම පියවර සමග යුරෝපය, රුසියාව, අප්‍රිකාව හා ඕස්ට්‍රෙලියාව ඇතුළු ලෝකයේ  වැඩිම රටවල් ප්‍රමාණයක් සම්බන්ධවී තිබෙන DVB-T තාක්ෂණ සම්මතයන්ට ලංකාව එක් නොවනු ඇත. (ATSC සම්මතයන් ඇමරිකාවත් DTMB සම්මතයන් චීනයත් භාවිත කරනු ලබයි)
මෙම තාක්ෂණ සම්මතයන්ගේ වෙනස ප්‍රායෝගිකව ඩිජිටල් නාලිකා නරඹන අයට වැදගත් නොවන නමුත් රූපවාහිනී යන්ත්‍ර මිලට ගැනීමේදී හා ආනයනයේදී ලංකාවට ගැලපෙන ISDB-T සම්මතයන් අයත් රූපවාහිනී යන්ත්‍ර මිලට ගැනීමේදී එය අවශ්‍ය වේ. ඒ අනුව ඉදිරියේදී ජපන් ප්‍රමිතිය සහිත රූපවාහිනී යන්ත්‍ර වලට වැඩි ඉල්ලුමක් පවතිනු ඇති අතර ඩිජිටල් නොවන රූපවාහිනි යන්ත්‍ර හිමිකරුවන්ට අදාළ තාක්ෂණයට මාරුවීමට නව රූපවාහිනී යන්ත්‍ර මිලට ගැනීමට හෝ අදාල තාක්ෂණයට මාරු කරන ගැජට්ටු මිලට ගැනීමට හෝ  සිදුවනු ඇත.
කැබිනට් මණ්ඩලය අනුමත කළ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ විස්තරය පහතින්