drug-dealer-nabbed

උම්බලකඩ ව්‍යාපාරය කරගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්තුඩු  ජාවාරමේ නිරත කෝටිපති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ ගෝලයකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරු අනුව වැටලීමක් කර සැකකාර ව්‍යාපාරිකයා සහ ගෝලයා වත්තල ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.   අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර ව්‍යාපාරිකයා ළඟ හෙරොයින්  ග්‍රෑම් 4ක් සහ මුදලින් රුපියල් 90,000ක්  ද ඔහුගේ ගෝලයා හෙරොයින් ග්‍රෑම්  3යි, මුදලින් රුපියල් 120,000ක මුදලක්  තිබී ඇත.  ව්‍යාපාරිකයාගේ ගෝලයා  බොරැල්ලේ පදිංචිකරුවෙක් බවත්, ඔහුට මීට පෙර මකුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු ගණනාවක් ඇති  බවත් පොලිසිය කියයි.




මෙම ව්‍යාපාරිකයා උම්බලකඩ ව්‍යාපාරය මහා පරිමාණයෙන්  කරගෙන යන බවත් එම ව්‍යාපාරයට මුවා වී මොහු සූක්ෂම ලෙස මත්කුඩු  ජාවාරම ද සිදුකර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. වසර කිහිපයක් තිස්සේ මොහු මෙම මත්කුඩු ජාවාරම සිදුකළ ද උම්බලකඩ ව්‍යාපාරිකයකු වීම නිසා කිසිවකු මොහු පිළිබඳව සැක කර නොමැති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය. මොහු සම්බන්ධයෙන් ලැබුණු  තොරතුරු අනුව දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකර පසුව වැටලීමක් කර මොහු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.





මත්කුඩුවලින් උපයා ගත් මුදල්  තැන්පත් කළ බව කියන ගිණුම් ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇති අතර එම සැක සහිත ගිණුම් පරික්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලිසිය කියයි.  මෙම සැකකරු ඉතා සුබෝපභෝගී ජීවිතයක් ගත කරන්නකු බවත්, වත්තල පිහිටි ඔහුගේ නිවස නාන තටාකාංගනවලින් සමන්විත සුවිසල් එකක් බව ද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.   අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු හෙරොයින් ග්‍රෑම් 500 - 250 වශයෙන් ජාවාරම් කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතනයේ තිබී මත්කුඩු ජාවාරම්කරුවන් රැසකගේ දුරකතන අංක පොලිසිය සොයාගෙන ඇත.  


මොහු දුරකතනයෙන් දෙන ඇණවුම් අනුව ඔහුගේ ගෝලයන් අදාළ  තැන්වලට මත්කුඩු සපයන බවත්, ඒ වෙනුවෙන් මොහු කියන ගිණුම්වලට ගෝලයන් මුදල් බැරකර ඇති බව ද   පොලිසිය පවසයි. එලෙස මුදල් බැරකළ බවට සැකසහිත ගිණුම් කිහිපයක්ම පොලිසිය පරික්ෂාවට ලක්කරන බවත්,  එම ගිණුම් අතර සැකකරුගේ බිරිඳගේ  නමින් ද ගිණුම් ඇති බවත් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත වත්තල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.


 -ඉන්දිකා රාමනායක-