gmoa-sidhdhika

“පොල්තෙල් පමණක් නොව විස සහිත ආහාර ජාති  තවත් තිබෙන අතර ඒවා ගැන කරුණු කිව හොත් සමාගම්
බිඳවැටිය හැකි යැයි” ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ආචාර්ය සිද්ධිකා
සේනාරත්න මහත්මිය පසුගියදා මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස
ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් (05දා)  භාර දෙන
බව එම සංගමය විසින් අවධාරණය කළේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු, මාධ්‍ය
ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද, සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සහ එම සංගමයේ නීති
උපදේශක නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ යන පිරිස සහභාගි වූ මාධ්‍ය හමුවකදී මේ බව කීය.

මධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත
ආනන්ද මහතා පැවසුවේ විස සහිත ආහාර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය දැන දැනම
ඒවා ජනතාවගේ පරිභෝජනයට නිදහස් කිරීමට ඉඩදී තිබෙන බවයි. එය බරපතළ වරදක් වන අතර මේ
සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තීරණයක් ගනු ඇති බවට විශ්වාසය පළ කරන බවද සමන්ත
ආනන්ද මහතා පැවසීය.



වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවැසීය.

“දැන් තිබෙන්නේ පොල්තෙල් ගැන ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. බොහෝ ආහාරවල විසකාරක තිබෙන බව අපි
දිගටම කතා කළා. කෘෂි රසායනික, පොහොර වැනි වස විස එක් කරමින් තමයි අද වගාව සිද්ධ වෙන්නේ.
වස විසෙන් තොර වගාවක් කළ හැකිව තිබියදීත් අපි රටක් ලෙස එයමයි නොකර සිටින්නේ. මේ රටේ
කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය කුමකටද කියලත් සිතෙනවා. පොල්තෙල් විතරක් නෙවෙයි කිරිපිටි පවා විස
සහිත බව අපි කිව්වා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පොල්තෙල් පරිහරණය හොඳ නැහැ කියල කියද්දී ප්‍රමිති ආයතනය කොහොමද
ඒවා නිදහස් කළේ යන්න ප්‍රශ්නයක්. මේ වෙන දේවල්වලින් ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න
ඇති වෙනවා. ප්‍රමිති ආයතනයට තිබෙන්නේ සමාගම්, හෝ ව්‍යාපාරිකයන් රකින්න නෙවෙයි. ඔවුන් වග
කියන්න ඕනෑ ජනතාවටයි. රජයේ ආයතනයක එහි අධ්‍යක්ෂ ජනරාල්වරියට අවශ්‍ය දේවල් කරන්න බැහැ.
මේ බිඳ වැටෙන්නේ ප්‍රමිති ආයතනයේ විශ්වාසයයි. මෙහෙම කටයුතු කරන්න නිලධාරීන්ට හෝ අනෙකුත් අයට
අවසරයක් නැහැ. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි
පොලිස්පතිවරයාට පැමිණිලි කරනවා.

ආචාර්ය සිද්දීකා සේනාරත්න මහත්මියගේ පත්වීම ගැනත් දැන් පැමිණිලි ලැබෙමින් තිබෙනවා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතාද අදහස්
දක්වමින් පැවසුවේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශය ඉතා බරපතළ ප්‍රකාශයක්
වන හෙයින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ ප්‍රමිති
ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක් සිදුකර තිබෙන බවයි.

විස සහිත අහාර ජනතාවට ලබා දීම පිළිබඳව ඇය දැන සිට ඇති බව ශනාල් ප්‍රනාන්දු මහතා කීය.
ඇයගේ ප්‍රකාශයෙන් එය පැහැදිලි වන බවද ඔහු පැවැසීය.



එම සංගමයේ නීති උපදේශක නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසුවේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ
ජනරාල්වරිය අපරාධ නීතිය උල්ලංඝනය කිරීමක් කර ඇති බවයි.

ඒ අනුව ඊයේ (05දා) ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට
පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් ඒ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමය තීරණය කර ඇති බවත් දාබරේ මහතා පැවැසීය

මෙම කාරණයට අමතරව මේ වන විට වෛද්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 සිට 63 දක්වා ඉහළ දැමීම සඳහා සෞඛ්‍ය
අමාත්‍යවරියගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බවටත් ඒ ගැන කැබිනට් පත්‍රිකාවක්ද
ඉදිරිපත් කර තිබෙන බවටද මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍ය නිලධාරීන් කරුණු දක්වා සිටියේය.

එයට කැබිනට් අනුමැතිය හිමිවනු ඇති බව ඔවුන් විශ්වාසය පළ කරනවා.

පසුගිය රජය සමයේ අදුරු යුගය හේතුවෙන් මේ වන විට වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍යවරුත්
බිහිකර ගැනීමද ප්‍රමාද වී තිබෙන බව ඔවුහු පෙන්වා දුන්හ.


කිරුලපන -චතුර දේශාන් ලියනගේ