නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේ දී ඊයේ (1) දහවල් ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් පෙරළීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනකු මියගිය බව නුවරඑළිය පොලිසිය කියයි.
ත්‍රිරෝද රථය පැදවූ රියැදුරු සිද්ධියෙන් බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇල්ල කරඳගොඩ පදිංචි මිලිනා වෛද්‍යරත්න (51) ලක්ෂ්මි ලියනගේ (52) සහ කවීෂා සෙව්වන්දි (20) නමැති තිදෙනෙකි.ලක්ෂ්මි ලියනගේ සහ කවිෂා සෙව්වන්දි මව සහ දියණිය වන බවත් අනෙක් කාන්තාව ඔවුන්ගේ ඥාතිවරියකගේ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය.
ත්‍රිරෝද රථය පැද වූ ඩබ්ලිව්.එම්. නිශාන්ත 43 නමැත්තා සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත.ඔවුන් ඊයේ පෙරවරුවේ මහනුවර දළදා මාලිගාවේ පූජාවකට සහභාගි වී නුවරඑළිය හග්ගල මාර්ගය හරහා ඇල්ල බලා ගමන් කරමින් සිටිය දී දහවල් 12.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවද පොලිසිය කියයි.
ත්‍රිරෝද රථය හග්ගල මාර්ගයේ ඇල්ල බලා ධාවනය වෙමින් තිබිය දී එයට පිටුපසින් සබන් පැටවූ ලොරි රථය ද වැලිමඩ දක්වා ධාවනය වී තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.ත්‍රිරෝද රථය පිටුපසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථය එකවරම ඉස්සර කිරීමට යාමේ දී ත්‍රිරෝද රථය මතට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව ද පොලිසිය කියයි.අනතුරින් ත්‍රිරෝද රථය පිටුපස කොටසට දැඩි හානි සිදුවී ඇති අතර එහි ගමන්ගත් කාන්තාවන් තිදෙනාගෙන් එක් කාන්තාවක් එම ස්ථානයේ දීම මියගොස් ඇත.
අවට පිරිස් අනෙක් කාන්තාවන් දෙදෙනා සහ ත්‍රිරෝද රථයේ රියදුරු නුවරඑළිය රෝහලට රැගෙන ගිය අවස්ථාවේ කාන්තාවන් දෙදෙනා ද මග දී මියගොස් තිබේ. මෙම ලොරි රථය ත්‍රිරෝද රථය මතට පෙරළීමෙන් එහි ගමන් ගත් පිරිස එයට යට වී සිට ඇති බවත් අවට පිරිස් ත්‍රිරෝද රථය මත වැටී තිබූ ලොරි රථය ඉවතට තල්ලුකර ත්‍රිරෝද රථයේ පිටුපස සිරවී සිටි පිරිස ඉවතට ගෙන ඇති බවත් පොලිසිය කියයි.සිද්ධියෙන් පසුව ලොරි රථයේ රියැදුරු ලොරි රථය එම ස්ථානයේදීම දමා පළා ගොස් ඇති අතර ලොරි සහායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම මියගිය රියදුරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය ත්‍රිරෝද රථය මතට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ පරීක්ෂණයේ දී හෙළි වූ බව ද පොලිසිය පවසයි. නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත් වේ.
(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
0 Comments