india-covid19

ඉන්දියාවේ දෛනික කොරෝන ආසාදිතයන් ගණන ලක්ෂය පසු කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර ඇත. එම කමිටුවට සම්බන්ධ  වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ, ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘති ප්‍රබේදය ආසාදිතයන් ඉහළ දැමීමට හේතුවක් වෙන්න ඇති බවය. එක්සත් රාජධානියෙන්, බ්‍රසීලයෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ ඇමෙරිකාවෙන් නව ‘කොවිඩ් 19' වයිරස ප්‍රබේද හමුවෙද්දී, ඒ සියලු වයිරස ප්‍රබේද පරදවමින්, ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘතියක් සොයා ගැනුණේ පසුගිය මාසයේය.




පෙරේදා (1) ඉන්දියාවෙන් දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වඩා වාර්තා විය. ඉන්දියාවෙන්,   දෛනික ආසාදිතයන් ලක්ෂයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර, දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂයට වඩා වාර්තා වූ රට ඇමෙරිකාවය.  පසුගිය සැප්තැම්බරයේ සිට 2021 ජනවාරි දක්වා ඉන්දියාවෙන් දෙනිකව ආසාදිතයෝ 90,000 ත් 98,000 ත් අතර වාර්තා විය. කෙසේ නමුත් ජනවාරි වන විට එය 10,000 තෙක් අඩු විය. හිටිහැටියේ ආසාදිතයන් අඩුවීම සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ මවිතය පළ කරන්න විය. ආසාදිතයන් අඩු වුවත්, ඉන්දීය සෞඛ්‍ය අංශ ආසාදිතයන් සෙවීමට සිදු කළ පීසීආර් පරික්ෂණ අඩු නොකළ බව පැවැසෙයි..


පසුගිය මාර්තු අවසන් වෙද්දී, ආසාදිතයන් යළිත් ඉහළ යෑමට පටන් ගත් අතර, දෙනික ආසාදිතයන් ලක්ෂය පසු කර තිබේ. කොරෝනා ආසාදිතයන් අතින් ලොව පළමු සහ  දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාව සහ බ්‍රසීලයයි. ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය.