india-covid19

කොවිඩ්-19හෙවත් නව කොරෝනා වෛයිරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරන එන්නත් ප්‍රමාණය දස ගුණයකින් වැඩි කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.  ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ දෙක පසු කරමින් ඉහළ යාමත් සමඟ මේ වනවිට එරට එන්නත්කරණ වැඩසටහන ද අඩපණ වී තිබේ.මේ තත්වය සමඟ මසකට එන්නත් මාත්‍රා මිලියන 100 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන පරිදි මසක එන්නත් නිෂ්පාදනය දස ගුණයකින් වැඩි කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කර ඇත. මෙම ඉන්දියාව එන්නත් මාත්‍රා මිලියන ගණනක් විවිධ රට වලට අලෙවි කළ අතර තවත් එන්නත් මාත්‍රා මිලියන ගණනක් අසල්වැසි හා මිත්‍ර රටවලට පරිත්‍යාග කළේය.මේ ක්‍රියාවලියත් සමඟ එක් වරම ඉන්දියාව තුළ එන්නත් හිගයක් නිර්මාණය විය.

විශේෂයෙන් මින් 'කොවැක්සින්' එන්නත් මාත්‍රාවල හිඟයක් ඇති වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. "කොවැක්සින්" යනු ඉන්දියාව තුළ ම නිෂ්පාදනය කරන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතයි. මෙය නිපදවන්නේ ඉන්දියාවේ  භාරත් බයෝටෙක් සමාගමය.ඒ අනුව මේ වනවිට "කොවැක්සින්" එන්නත් නිෂ්පාදනය වැඩි කිරීමටත් අනෙකුත් එන්නත් ආනයනය කිරීම වේගවත් කිරීමටත් ඉන්දීය රජය මේ වනවිට අවධානය යොමු කර ඇත. ඉන්දියාව දැනට නිෂ්පාදනය කරන්නේ මසකට එන්නත් මාත්‍රා මිලියන 10කට ආසන්න ප්‍රමාණයකි.“අප දැනට කොවැක්සින් එන්නත රට තුළ නිෂ්පාදනය කරනවා. මැයි-ජූනි මාසවලදී එහි නිෂ්පාදනය දෙගුණ කරනවා. ජූලි - අගෝස්තු මාස වෙද්දි අපි එන්නත් නිෂ්පාදනය 6-7 ගුණයකින් වැඩි කරනවා" යැයි ඉන්දියාවේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය. කොවැක්සින් එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක මුදලක් යෙදවීමට පියවර ගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව ඉන්දීය රජයට අයත් තවත් ඖෂධ සමාගම් දෙකක් ඒකාබද්ධ කරමින් එන්නත් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇත. එම සමාගම් දෙකෙන් ඉදිරි මාසවලදී මසකට එන්නත් මාත්‍රා මිලියන 35 බැගින් නිෂ්පාදනය කෙරෙනු ඇත. ඉන්දියාව අප්‍රේල් මස මුල් සතිය වන දිනකට මිලියන 4.5කට එන්නත් ලබාදුන්නේ ය. ඉන්දියාව තුළ නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන වේගයෙන් වැඩි වීමට පටන් ගත්තේ ද මෙම සමයේ දී ය. එතැන් පටන් දිනකට ලබාදෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 3 සාමාන්‍ය අගයක් ගත්තේ ය.