දිනපතා දෙලක්ෂයකට වඩා කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාව තම රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුගිය 20 වනදා තීරණය කළේය. මෙම මහා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ 'රතු ලැයිස්තුව' සකසා ඇත්තේ , "කොවිඩ් 19" වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අවදානම් රටවල් හඳුනා ගනිමින් එම රටවල් ඊට ඇතුළත් කරමිනි. මේ වනවිට ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.  දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වුවත්, මරණ අතින්ම ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. කොරෝනා මරණ අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. ආසාදිතයන් අතින් බ්‍රසීලය ඇත්තේ තෙවැනි ස්ථානයේය. ඒ, ඉන්දියාවට පසුපසිනි. මෙම ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමත් සමඟ ඊයේ 23 වැනිදා සිට ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින කිසිවකුට හෝ පසුගිය දින 10 ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ අයකුට හෝ බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ නැති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා පවසා තිබේ.



කෙසේ නමුත් බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත හෝ විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන්ට මෙන්ම බ්‍රිතාන්‍යයේ ජීවත්වීමට අයිතිය ඇති පුද්ගලයන්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැහැදිලි කර ඇත. මෙම ඉන්දියාවෙන් මේ වනවිට දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 2 ඉක්මවා වාර්තා වීමට පටගෙන තිබේ. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මෙසේ හිටිහැටියේ වැඩිවීමටප්‍රධානතම හේතුව ඉන්දීය වැසියන් වයිරසය තැකීමකට නොගෙන කටයුතු කිරිමය. සෞඛ්‍ය උපදෙස් නොතකා ගංගා නදිය අසබඩ පැවැති කුම්බමේලා උත්සවයට එක් රොක්වුණු දහස් ගණනක් මේ වනවිට ආසාදිතයන් බවට පත් වී අවසන්ය. ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක මැතිවරණ පැවැත්වෙන අතර, සෞඛ්‍ය උපදෙස් නොතකා මැතිවරණ රැලිවලට එක්රොක් වූ පිරිස අතිමහත්ය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විවේචන එල්ල වෙමින් පවතින අතර, අග්‍රාමාත්‍ය මෝදි සමාජ මාධ්‍යවලින් එල්ල වන එම විවේචන සම්බන්ධයෙන් දොස් නගා ඇතැයි ද පැවැසෙයි. ඉන්දියාව එරට වැසියන්ට එන්නත් ලබා දීම අදියර කීපයක් යටතේ ආරම්භ කර ඇති නමුත් ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බව ද පැවසෙයි. ඉන්දියාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය හිටිහැටියේ ඉහළ යෑමට තවත් එක් හේතුවක් වී ඇත්තේ එරටින් හමුවුණු ද්විත්ව විකෘතියයි. ඉන්දියාවෙන් මුලින්ම හඳුනාගත් මෙම ද්විත්ව කොරෝනා විකෘතිය මේ වනවිට රටවල් 10 කට පැතිර ගොස් ඇති බවත්, එන්නත්වලට පවා අඩපණ කිරීමට නොහැකි වී ඇති බවත් එම විකෘතිය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර තිබේ. විද්‍යාඥයන් මෙම ද්විත්ව කොරෝනා විකෘතිය නම් කර ඇත්තේ බී.1.617 යන නමිනි.



 මෙම ද්විත්ව කොරෝනා විකෘතිය මේ වනවිට මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 10 කින් ද වාර්තා වෙයි. ඉන්දියාවේ මුම්බායි නුවර අයත් මහාරාෂ්ට ප්‍රාන්තය පමණක් නොව නවදිල්ලි අගනුවර ද මේ වනවිට ලොක්ඩවුන් කර අවසන්ය. නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය ඇති මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාන්ගේ ‘ආම් ආද්මි’ පක්ෂය යටතේය. මහ ඇමැතිවරයා යෝජනා කර ඇත්තේ ගෙයින් ගෙට යමින් දිල්ලි වැසියන්ට එන්නත් ලබා දිය යුතු බවය. නවදිල්ලි රෝහල් සියල්ල මේ වනවිට ආසාදිතයන් ගෙන් පිරි ගොස් ඇති අතර, රෝහල් ඇඳන්වල රෝගීන් දෙදෙනකු හෝ තුන්දෙනකු හෝ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය වාර්තා පවසයි. නවදිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ සෙසු ප්‍රධාන නගර රැසක රෝහල්වල ඔක්සිජන් හිඟයක් ද වාර්තතා වෙයි. ඔක්සිජන් නොමැතිකම නිසා ද ආසාදිතයන් මියයන බව ද වාර්තා වේ. ඔක්සිජන් අවශ්‍යතා සපුරා ගැනීමට කර්මාන්ත ශාලාවලින් ඔක්සිජන් ටැංකි රෝහල් වෙත රැගෙන යමින් පවතින බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.