ත්රීරෝද රථයක පිටුපස ප්රදර්ශනය කර තිබූ වැකියක ආධාරයෙන්, කිරුළපන ගජබා පාරේ කර්මාන්ත ශාලාවකින් සොයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා ඡායා පිටපත් ලබා ගන්නා උපකරණ (ටෝනර්) තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.ඒ සමග භාණ්ඩ ප්රවාහනය කිරිමට භාවිතා කළ ත්රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම කර්මාන්ත ශාලාවේ ඉදිරිපස දොරක් කඩා මීට දින කිහිපයකට පෙර ටෝනර් තොගය සොරාගෙන තිබූ අතර ඒ පිළිබඳව කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එහිදී මෙම භාණ්ඩ සොරා ගැනීමට සැකකරු පමණක් ත්රිරෝද රථයකින් පැමිණ ඇති බවට අනාවරණය වූ අතර ඒ සම්බන්ධ සීසීටීවී දර්ශන පැහැදිලි නොවීම නිසා රථයේ අංකය හදුනාගැනීම අපහසු මට්ටමක පැවතිණි.
නමුත්
එසේ පැමිණි ත්රීරෝද රථයේ "මගේ දියුණුව බිරිඳගේ උත්සාහය" යනුවෙන් සඳහන් වැකියක් ප්රදර්ශනය කර තිබී ඇති අතර එය සීසීටීවී දර්ශන කිපයකම පැහැදිලිව හදුනාගන්නට හැකිවූ බවට පොලීසිය තොරතුරු අනාවරණය කර තිබුණි.
ඒ අනුව විමර්ශන සිදුකරමින් සිටියදී, පො.සැ 9233 ජයවීර සහ පො.කො. 37783 විජයතුංග නිලධාරින් දෙදෙනා වෙනත් රාජකාරියක් සඳහා මාර්ගයේ යමින් සිටියදී, ඉහත වැකිය සඳහන් ත්රීරෝද රථය කිරුලපන බලපොකුණ මාර්ගයේ ධාවනය වනු දැක ඇතැයි පැවසේ. එහිදී පොලිස් නිලධාරින් දෙදෙනා ක්ෂණයකින් ක්රියාත්මක වී, ත්රිරෝද රථය පසුපස හඹාගොස් නවතා එහි රියැදුරු ද සමග ත්රිරෝද රථය පොලිසියට රැගෙනවිත් ප්රශ්න කිරිමේදී සොරකමේ සුලමුල අනාවරණය කරන්ගෙන තිබුණි. ඒ අනුව ත්රී රෝද රථයේ රියැදුරුගෙන් ලද තොරතුරකට අනුව ටෝනර් සොරාගත් පුද්ගලයා පදිංචි කොලොන්නාව සිංහපුර ප්රදේශයේ කුලී නිවස පරික්ෂා කිරිමේදී එහි තිබී විවිධ වර්ගයේ ටෝනර් විශාල ප්රමාණයක් සොයාගත් බවත් එසේ සොයාගත් ටෝනර් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35 කට අධික වන බවත් පොලිසිය කියයි.
පසුව සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී, මෙම භාණ්ඩ මාස පහක් තුළ අවස්ථා කිහිපයකදී සොරා ගත් ඒවා බවත් රුපියල් හාර දහසක් වටිනා ටෝනර් එකක් රුපියල් 500 බැගින් විකුණා, ඉන් උපයාගත් මුදලින් දෛනික ජීවනෝපාය සලසා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත් කොළොන්නාව සිංහපුර ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයා අලුත්කඩේ අංක 3, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
( මත්තේගොඩ- ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
0 Comments