කුරුඳු තැලීමේ නිරතව සිටි තරුණයකු ඊයේ (26) අලුයම නිවෙසේ නිදා සිටිය දී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි අක්මීමන පොලිසිය කියයි.. මියගොස් ඇත්තේ අක්මීමන හියාරේ කැලුම් විජේසිංහ නමැති 24 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මෙම ඝාතනය ඊයේ (26) අලුයම 12.30 ට පමණ සිදුවී ඇති බවට
විමර්ශනවල දී අනාවරණය වී ඇත. ඝාතනයට ලක් වුණ මෙම තරුණයා මෙම 29 වැනිදා විවාහ වීමට සිටි කෙනකු බව ද පොලිසිය පවසයි. පෙරේදා රාත්‍රියේ ආහාර ගෙන තරුණයා නිවෙසේ මැද කාමරයේ නිදාගෙන සිටි අතර පියා සහ ආච්චි ඇතුළු පවුලේ අය ද නිවෙසේ සිට ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත.
ඝාතනයට ලක් වූ තරුණයා නිදා සිටි කාමරය දෙසින් කෙඳිරිගාන ශබ්දයක් ඇසී තරුණයාගේ පියා මධ්‍යම රාත්‍රියේ දී කාමරයට ගොස් බලනවිට ඔහු ලේ පෙරාගෙන සිට ඇති බව පොලිසිය පවසයි. පසුව මොහු 1990 හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණ අතර තියුණු ආයුධයකින් පහරදීම නිසා තරුණයාගේ හිසට තරුණයාගේ හිසට බරපතළ තුවාල වී ඇතැයි පරීක්ෂණවල දී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි. ඝාතනයට ලක් වූ තරුණයා කුරුඳු තැලීමේ නිරත වන අතර නිවසේ පිටුපස දොරින් ඇතුළු වූ අයකු මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
තරුණයාගේ මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තැත්පත්කර ඇති අතර මූලික මහෙස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. පොලිසියේ සොකෝ නිලධාරින් පැමිණ ස්ථානීය පරික්ෂණයක් පැවැත්වීමට ද නියමිතව ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයකු ඊයේ (26) සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කීය. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මධුරංග අරුමප්පෙරුම මහතා සමගින් පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.
ජේ.කේ.එල්. චාමින්ද-
0 Comments