open-vehicle-video

මෝටර් රථයක දොර කවුළු මත ඉඳගෙන සිරුරු මෝටර් රථයෙන් පිටතට නිරාවරණය වන සේ අන්තරායකාරී ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයන් පිරිසක් සහ එම රියැදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්හ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.



තරුණයන් පිරිස මෝටර් රථයේ අන්තරායකාරී ලෙස ගමන් ගන්නා අයුරු ඇතුළත් වීඩියෝවක් පෙරේදා (10) දින සිට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන බවත්, ඒ අනුව අන්තරායකාරී සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.  මෙම තරුණයන් පිරිස විනෝද වෙමින් මේ අයුරින් ගමන් කිරීමෙන් මොවුන්ගේ ජීවිත අනතුරේ  හෙළීමට අමතරව එම මාර්ගයේ ගමන් ගන්නා සෙසු පිරිසට ද අන්තරාවක් ගෙන දෙන ලෙස ක්‍රියා කර  ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.


අංකය අනුව පරික්ෂා කිරීමේ දී මෙම මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බවට හෙළි කරගෙන ඇති බවත් එම මෝටර් රථය එම පුද්ගලයා බාරයේ තිබේ ද නැතහොත් වෙනත් පුද්ගලයකු වෙත පවරා ඇති ද යන්න හෙළි කරගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව ද හෙතෙම පැවැසීය. උත්සව සමයේ බොහෝදෙනා අධිවේගී මාර්ග භාවිත කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා අන් අයගේ ජීවිත අනතුරේ හෙළමින් සිදුකරන මෙවැනි ක්‍රියා අනුමත නොකරන බවත් මෙම සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා කීවේය.  කඩවත සිට මාතර දක්වා තීරයේ සිදුවී ඇති බව කියන මෙම සිද්ධියට සම්බන්ධ  ඡායාරූප පෙළක් සමග  පැමිණිල්ලක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ස්ටන්  ප්‍රනාන්දු මහතා වෙත ද ලැබී ඇති බවත්, එම සිද්ධියට සම්බන්ධ රියැදුරුට හා තරුණයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දී ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.




එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ප්‍රමාණය වැඩි වන බැවින් උත්සව කාල සීමාව තුළ අපරික්ෂාකාරීව, බීමත්ව හා මාර්ග නීතිවලට පටහැනි  අයුරින් එම මාර්ග භාවිත කරන අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දී ඇති බව ද එම අමාත්‍යාංශය කියයි. මේ සම්බන්ධයෙන් අධිවේගී මාර්ග තුළ රාජකාරි කටයුතුවල යෙදී සිටින පොලිසිය දැනුවත් කරන මෙන් අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. රංජිත් පේස්මසිරි මහතාට උපදෙස් දී ඇති බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


-ඉන්දිකා රාමනායක -