පානදුර වලාන වටරවුමේ දී පානදුර කොට්ඨාසය රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ ව්‍යපාරිකයකු ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්. ජයසිංහ මහතා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනකු පානදුර නගරය දෙස සිට මොරටුව දෙසට ගමන් ගන්නා වාහන පිළිබඳ අධීක්ෂණයේ යෙදී සිටිය දී සැකකටයුතු ලෙස පැමිණි යතුරුපැදිකරුවකුට නැවතීමට සංඥා කර යතුරුපැදියට අදාළ ලිපි ලේඛන සහ රියැදුරු බලපත්‍රය පරික්ෂාවට ලක් කරද්දී ඔහුගේ රියදුරු බලපත්‍රය මීට වසර දෙකකට පෙර කල් ඉකුත් වූ බලපත්‍රයක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ පිළිබඳව සැකකරුට දැනුම් දී නීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් වීමත් සමඟම සැකකරු කුඩා ඉරි කවරයක් පොලිස් නිලධාරින් දෙසට දිගුකර යමක් පවසමින් ඇවිටිලි කරන අයුරු මදක් ඈතින් සිටි කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ නෙත ගැටී සැකකරු ලවාම එය පරික්ෂා කිරීමේ දී රුපියල් දහසේ මුදල් නෝට්ටු දෙකක් ඒ තුළ අඩංගු වී තිබූ අයුරු දැක සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගැනුණ සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේ දී මීට වසර දෙකකට පෙර කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍රය වෙනුවට නව රියැදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ ද රෝගී තත්වයක් හේතුවෙන් කීප වතාවක්ම වෛද්‍ය පරික්ෂණයෙන් අසමත් වූ බවත් කියා තිබිණි.
මෙම වසර දෙකක කාලය තුළ අවස්ථා කීපයකදීමට මෙයාකාරයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලිසියට අසු වූ අවස්ථාවල දී මුදල් දී නීතියෙන් ගැලවුණ බව ද සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. වාද්දුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
0 Comments