pavithra-speaks

 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවැනි මාත්‍රාව දීම ලබන 23 වැනිදා සිට අරඹන බව  සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසුවාය.  ඇය මෙසේ පැවැසුවේ මේ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටත්තේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.   සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ ද කීවාය. ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ජනවාරි මස 20 වන දින සිට අප්‍රේල් මස 6 දක්වාම සිදු වූ බැවින් දෙවන මාත්‍රාව ලබා දීමේ කාලය අප්‍රේල් මස 23 වනදා සිට ජූලි මස 06 දක්වා අතර කාල පරාසයක් තුළ විහි දී ඇති නිසා අප්‍රේල් මස 23   වැනිදායින් පසුව මුල් අදියරේ ප්‍රථම මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ ආයතන ක්‍රියා කරනවා.




ජනවාරි මස 29 දා සිට අද 2021.4.6 දක්වා  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 924687 ක් පළමු මාත්‍රාව ලෙස ලබා දී තිබෙනවා. දැනට විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල අනුව දෙවන මාත්‍රාව පළමු මාත්‍රාව ලබා දී සති 12 කට පසුව ලබා දීමෙන් ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව සනාථ වී තිබෙනවා.  දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සතුව  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 356730 ක් වෙන්කර තියෙනවා.   එසේම මේ වන විට දෙවන මාත්‍රාව ලබාදීමට ඇති මුළු සංඛ්‍යාව 924687 ක් වන බැවින්, වෙන්කර ඇති එන්නත් මාත්‍රා 356730 ට අමතරව තවත් එන්නත් මාත්‍රා 568000 ක් පමණ අවශ්‍ය වෙනවා. එම ප්‍රමාණය ලබාගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනටමත් අදාළ අංශ සමග කටයුතු කරමින් ඇති බැවින් ඉදිරි  සති කිහිපය තුළ එම අවශ්‍ය එන්නත් තොගය ලැබෙනු ඇති.



 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාදුන් අයට දෙවන මාත්‍රාවද එම වර්ගයෙන්ම ලබාදිය යුතු බැවින් එම එන්නත නිපදවූ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙන්ම ඉතිරි එන්නත් තොගයද ලබාගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. කොවිඩ් එන්නත් සම්බන්ධව මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ   ඇස්ට්‍රාසෙනිකා එන්නත, ස්පුට්නික් එන්නත, සිනොෆාම් එන්නත සහ භාරත් බයෝටෙක් ආයතනයේ කොවැක්සීන් එන්නත යනාදිය සඳහා ඉල්ලුම්ටත් ලැබී ඇත. එම ආයතන සමග ගිවිසුම ගතවීමටත්, ලියාපදිංචිය ලබා ගැනීමටත් ඉදිරියේදී අපේක්ෂා කරනවා.


ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන හතක් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට අපේක්ෂා කරනු ලබන අතර ඉදිරි වසර තුළදී  මෙම මාත්‍රාව ලබා දීමට ෆයිසර් ආයතනය කටයුතු කරනු ඇත. මොඩර්න්, ජොන්සන් සහ ජොන්සන් ආයතන සමග ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා සාකච්ඡා සිදුකර ඇති අතර ඔවුන්ට එන්නත් මාත්‍රා ලබා දීමට හැකි වූ විට ඒ සම්බන්ධව ගිවිසුම් ගත වීමටත්, ලියාපදිංචිය ලබා ගැනීමටත් අපේක්ෂා කරනවා. ඇවිගන් ඖෂධය සායනික දත්තයන්ට අනුව කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු බවට ඖෂධ නියමන අධිකාරියෙන් අනුමත වූ හෙයින් මෙම ඖෂධයෙන් පෙති පන්දාහක් මෙරටට ලබාදීමට අදාළ නිෂ්පාදන ආයතනය විසින් භාර ගනු ලැබුවා. එසේම මේ සඳහා  කිසිදු මුදලක් ගෙවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් කටයුතුකර නැහැ. සිනොෆාම් එන්නත රජයට නොමිලේ ලැබුණු ප්‍රදානයක්. එම එන්නත මිලදී ගැනීම සඳහා මේ වනතුරු රජය කටයුතු කර නැහැ.


-අංජුල මහිවීරරත්න -