pettah-incident

ගම්පහ පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ අඹු සැමි යුවළකගේ අවුරුදු 4 ක් වයසැති දියණිය ඉල්ලාගෙන ගොස් එම දැරිය පෙන්වා කොළඹ කොටුව ප්‍රදේශයේ සිගමන් යෙදුණු බව කියන තිස් හැවිරිදි කාන්තාවක පෙරේදා (25) සවස අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලිසිය කියයි.

  අත්අඩංගුවට ගත් කාන්තාව ළග තබාගෙන සිටි දැරිය ද මේ සමගම පොලිස් බාරයට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය.   තමා රෝගයකින් පෙළෙන නිසා එයට ප්‍රතිකාර ලබාගැනීමට සහ දියණිය ඇති දැඩි කිරීමට මගක් නොමැති බවට කියමින් දැරිය පෙන්වා සැකකාර කාන්තාව සිඟමනේ යෙදී තිබෙන බවට තොරතුරු හෙළි වී තිබෙන බව පොලිසිය කියයි.

සැකකාර කාන්තාව රෝගයකින් පෙළෙන බව කියැවීමට සකසාගත් ව්‍යාජ රෝහල් ප්‍රතිකාර කාඩ්පතක් ද ඇය ළඟ තිබී පොලිස් බාරයට ගෙන ඇත.  තමාගේ උපන් ගම මාතර බව ද  සැකකාර කාන්තාව පොලිසියට පවසා තිබෙන බව දැනගැනීමට තිබේ.  පල්ලෙවෙල පොලිස් වසමට අයත්  ගස්පේ  ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ අවුරුදු 26 ක් වයසැති සැමියා ඉකුත් 19 වැනිදා පල්ලේවෙල  පොලිසියට පැමිණ තමන්  හඳුනන කාන්තාවක තමන්ගේ කුඩා දියණිය ගෝල් ෆෙස් පිට්ටනිය  පෙන්වන්නට කියා පසුගිය 17 වැනිදා ඉල්ලාගෙන ගිය බවත් දැරිය ආපසු ගෙනැවිත් නුදුන් බවත් පොලිසියට  පැමිණිලි කර ඇත.  මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙවැනි ආකාරයට දියණිය ඉල්ලාගෙන  ගොස් එදිනම සවස ආපසු බාරදී ගියත්  මෙවර දැරිය ආපසු රැගෙන නොආ බව ද අඹු සැමි යුවළ පැවැසී යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

මෙම අඹු සැමි යුවළ ගම්පහ සිට  කොළඹට ගොස් කුලී වැඩ කරන අය බව පැවැසේ.  දරුවා ද කැටුව ගම්පහ සිට කොළඹට  දුම්රියෙන් ගමන් ගත් අවස්ථාවක මෙම කාත්තාව හඳුනාගත් බවත් ඒ දැන හැඳුනුම්කම මත ඇය තම නිවසට  පැමිණි බවත් අඹු සැමි යුවළ පවසා  තිබෙන බව ද පොලිසිය පවසයි.  පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස් මත පරික්ෂණ පවත්වා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරික්ෂක අනුෂා කුමාරි මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

සැකකාර කාන්තාව දැරිය  දෙමව්පියන්ගෙන් ඉල්ලාගෙන ගොස්  කොටුව ප්‍රදේශයේ තබාගෙන දැරිය  පෙන්වා සිඟමනේ යෙදී ඇති බව ද පොලිසිය පවසයි.  බාල වයස්කාර දැරියගේ පියා (පැමිණිලිකරු) හෙරොයින් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටින අයකු බවත් හෙරොයින් ළඟ තබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් බාරයේ පසු වී අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටින බවත් පොලිසිය සඳහන් කරයි.   පැමිණිලිකාර අඹු සැමි යුවළ සිය එකම දරුවා සැකකාර කාන්තාවට සිඟමන් යෙදවීමට කැමැත්තෙන් ලබා දී සිඟමනේ යෙදීමෙන් උපයාගන්නා මුදලින් කොටසක් ලබාගත්තේ ද යන්න ගැන ඇති වූ සැකයක් මත ඒ ගැන තහවුරු කරගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-