කොවිඩ් වසංගතයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මේ මොහොතේ දේශපාලනඥයන් තමන්ගේ යුතුකම් ඉටු කරන්නැයි වැඳලා කියනවා.’’ යැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ඊයේ (29 වැනිදා) දහවල් කළුතරදී කීවේය. අපේ රටේ සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලනයේ කාර්ය භාරය හැම දේටම විරුද්ධ වීමයි. තමන්ගේ වගකීම පසෙක දමා වරදාන, වරප්‍රසාද වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන දේශපාලනඥයන් රටේ ජනතාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කළ යුතු කාලය පැමිණ තිබෙනවා.



භාරතය අද විශාලා මහනුවරක් බවට පත්ව තිබෙනවා. එවැනි තත්ත්වයකට අපේ රට පත් නොවීමට තම යුතුකම් වගකීම් ඉටු කළ යුතු කාලය පැමිණ තිබෙනවා.

වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශ දැවැන්ත කැපවීමක් සිදු කර රට අවදානමෙන් මුදා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ලොව අනෙකුත් රටවල් සමග සැසඳීමේ දී අප තවමත් හොඳ තැනක සිටිනවා. රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරගෙන යන ඉතාම හොඳ වැඩපිළිවෙළ කඩාකප්පල් කර, ජනතා ජීවිත බිල්ලට දී බොරදියේ මාලු බාන්නට විපක්ෂය කටයුතු නොකළ යුතුයි.

දේශපාලන වශයෙන් මෙය අවුල් කර තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කිරීම නොකළ යුතුයි.

අපේ රටේ විපක්ෂ දේශපාලනඥයන් උත්සාහ කරන්නේ රටේ ජනතාවගේ මළකඳන් උඩින් හෝ තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ කොවිඩ් වසංගතය තව තවත් පැතිර යෑමයි. වසංගතයෙන් මිය යන මිනිස් ජීවිත ප්‍රමාණය ඉහළ යාම බලා සිටින මෙවැනි දේශපාලනඥයන් රටේ ජනතාව තව දුරටත් ප්‍රතික්ෂේප කිරීම සාධාරණයි.

විපක්ෂයට තියෙන්නේ ජනතාව විපතට පත්වීම බලා කිඹුල් කඳුළු හෙළා සතුටුවීමයි. ඒ තුළින් බොරදියේ මාළු අල්ලන දේශපාලනයයි. නමුත් වගකිවයුතු රජයක් ලෙස රටත් ජනතාවත් විපතට පත් නොකර ආරක්ෂා කර ගැනීම සිදු කරනවා. මේ පිළිබඳ ඉතා හොඳ දැක්මක් වැඩපිළිවෙළක් අපිට තියෙනවා.

එස්. පොද්දෙණිය - මීගහතැන්න