ජීව උණ්ඩ 13ක් සමග ටී 56 ගිනි අවියක් ළග තබාගත් බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකු අත්අඩංගුවට ගත් දිනය සහ ස්ථානය නිසි පරිදි පැවැසීමට විත්තිකරු අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයාට නොහැකි වීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු එම්.එම්.එස්.වයි. මාපා බණ්ඩාර මහතා නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ජේ.ඒ. සුනන්ද හෙවත් "ගැන්ඩ්" නමැත්තෙකි.
2006 පෙබරවාරි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගම්පහ මහවිටදී නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ටී 56 ගිනි අවියක් සහ සජීවී පතොරම් 13ක් ළඟ තබාගත් බවට පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු මහවිට හන්දියේදී අත්අඩංගුවට ගත් බව ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පවසා ඇතත් දෙහිවල කළුබෝවිල විමලසාර මාවතේ පිහිටි නිවසේදී විත්තිකරු අත්අඩංගුවට ගත් බව මෙම නඩුවේ විභාගයට පෙර විත්තිකරුට ඇප ඉල්ලීම් කරන දිනයේ සිටම දිගින් දිගටම පවසා තිබූ බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා සාධාරණ සීමාව ඉක්මවා යන සැකයක් මතු කරන මෙවන් තත්ත්වයක් තුළ විත්තිකරු අත්අඩංගුවට ගත් දිනය හා ස්ථානය නිසි පරිදි ඔප්පු කළ යුතු බවත් එසේ නොවුණහොත් පැමිණිල්ල පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමක් සිදුවන බව ද තීන්දුවේ සඳහන් කළේය.
විත්තිකරු මහවිට හන්දියේදී අත්අඩංගුවට ගත් බව ඔහු අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපති මගලේගොඩ මහතා පැවැසුවත් විත්තිකරු ඇප ඉල්ලා සිටි අවස්ථාවේදී මගලේගොඩ මහතාගේ අත්සනින් නිකුත් කළ වාර්තවේ මහවිට හන්දියට මීටර් 300ක් දුරින් පිහිටි විදීයවත්ත දේවාලය අසලදී විත්තිකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරු අත්අඩංගුවට ගත්තේ 2006.2.13 වැනිදා බවට පොලිස් නිලධාරින් පැවැසුවත් නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විත්තිකරු 2006.2.6 වැනිදා අත්අඩංගුවට ගත් බව ප්‍රධාන පොලිස් පරික්ෂක මගලේගොඩ මහතා පිළිගෙන ඇතැයි ද ඊට අමතරව මගලේගොඩ මහතා විසින් ඉදිරිපත් කළ ලේඛනයක විත්තිකරු අත්අඩංගුවට ගත්තේ 2006.2.14 වැනිදා බව සඳහන් කර ඇති බව තීන්දුවේ සඳහන් කළේය.
මේ අනුව විත්තිකරු අත්අඩංගුවට ගත් දිනය සම්බන්ධයෙන් ස්ථාවර තුනක් ඉදිරිපත්ව ඇති බවත් ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගත් දිනය පිළිබඳ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකි වන තරම් ප්‍රබල සැකයක් මතුවන බවත් විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කර ඇත. විත්තිකරු ගිනි අවිය පොහොර උරයක දමාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරින් සාක්ෂිවලදී සඳහන් කළත් නඩු භාණ්ඩයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු එම පොහොර උරය ඉදිරිපත් කර නොමැති බවත් නඩු භාණ්ඩ පාර්සලයට ‘එක්ස්" සලකුණක් යෙදුවේ කුමන අවස්ථාවකදී ද යන්න හා නඩු භාණ්ඩවල මුද්‍රා තැබීම නිසි පරිදි ඔප්පු වී නොමැති තත්ත්වයක් තුළ නඩු භාණ්ඩවල අනන්‍යතාව පිළිබඳ සැකයක් මතුවන බවත් තීන්දුවේ සඳහන් කර තිබේ. මේ අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියලුම චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
-මනෝප්රිය ගුණසේකර-
0 Comments