කොළඹ වරාය නගරය පාලනය කරන ආර්ථික කොමිසම පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත අතිශය භයානක බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆෙස්බුක් ඔස්සේ වීඩියෝවකට පෙනී සිටිමින් ප්‍රකාශයක් සිදු කර තිබේ.

 මෙවැනි විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී යම් යම් නීති වෙනස් කිරීම, විශේෂ බදු සහන ලබාදීම වැනි කරුණු සම්බන්ධයෙන් එකඟ විය හැකි නමුත් මෙම කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති සඳහා කිසිසේත්ම එකඟ විය නොහැකි බව ඔහු එහිදී කියයි.



මෙම කෙටුම්පත හරහා ව්‍යවස්ථාදායකය සතු බලතලවලින් වරාය නගරය සම්පූර්ණයෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇති අතර ඊට අමතරව කැබිනට් මණ්ඩලයෙන් මෙන්ම අධිකරණයෙන්ද නිදහස් කිරීමට යෝජනා කර ඇති බවත්  වෙනත් කිසිදු රටක විශේෂ ආර්ථික කලාප මෙවැනි ආකාරයෙන් රටේ සාමාන්‍ය නීති රීතිවලින් නිදහස් කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

සිංහල අවුරුදු සමයේදී නොනගතය අවස්ථාවේ හදිසියේ මෙන් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම හරහා බරපතල සැකයක් මතුවන බවත්, මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා වරාය නගරය භාවිතා කිරීමට සූදානම් වන්නේද යන සාධාරණ සැකය මතුවන බවත් ඔහු කියයි.