ස්වර්ණවාහිනී අයත් බෙන් හෝල්ඩින්ග්ස් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස  කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අද 27 දින පත්වීම භාරගත් අතර ඔහුගේ වැඩ ලබන සතියේ සිට ආරම්භ වීමට නියමිතය.




මෙම තනතුර දරමින් සිටි මොහාන් සමරනායක මහතා පසුගියදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට මාරු කර යැවීමෙන් ඇතිවූ පුරප්පාඩුවට මෙම තනතුර සුදේව හෙට්ටිආරච්චි වෙත ලබාදී ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි හිරු එෆ් එම් ගුවන්විදුලි නාලිකාව 1999 ආරම්භයේ සිට එහි නිවේදකයෙකු නිෂ්පාදකවරයෙකු වූ අතර 2012 හිරු ටීවී ආරම්භ කළ වකවානුවේ සිට එහි ප්‍රවෘත්ති හා කාලීන අංශ ප්‍රධානියා ලෙස විශේෂ වැඩකොටසක් ඉටු කළේය.
වසර විසි ගණනක් තිස්සේ හිරු ආයතනයේ කටයුතු කිරීමෙන් පසුව ඉන් ඉවත්වී  බෙන් හෝල්ඩින්ස් සමාගමට බැදුන ඔහු පසුගිය කාලයේ වඩාත් ප්‍රකට වූයේ දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඡායාරූපයේ දැක්වේ.

 ( ඡායාරූප : ජිවන්  චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය )