warnaweera-statement

වසර 2017 දී  අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් විකාශය වූ පුවතට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇති ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ඊයේ 19 එහි හිටපු ප්‍රධාන තණ තීරු භාරකරු ලෙස කටයුතු කළ  ජයනන්ද වර්ණවිර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.  කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරීශ්‍රයේ පිහිටි ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට ඊයේ  පෙරවරුවේ පැමිණි වර්ණවිර මහතාගෙන් එම ඒකකයේ ප්‍රධානීහු පැය කීපයක්ම ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.




වසර 2017 දී අල්ජසීරා රූපවාහිනී නාලිකාව විකාශය කළ පුවතකින් කියැවුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් සකස් කෙරෙන  බවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රහසිගතව කළ පටිගත කිරීම්වල දී එහි තණ තීරුව සකස් කරමින් සිටි සේවකයන් කීප දෙනකුගේ හඩ පටද අල්ජසීරා පුවතට පසුබිම් කරගත් බව වාර්තාවේ. ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ ජයනන්ද වර්ණවීර මහතා ගාල්ල  ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් ද අල්ජසීරා පුවත් විකාශනය වී තිබේ.


‘අල්ජසීරා' පුවත පාදක කර ගනිමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඇරැඹු විමර්ශනය මඟහැර සිටි බව කියන, එවකට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව බාරව සිටි, ජයනන්ද වර්ණවීර  මහතා ඇතුළු කීප දෙනකුට තහනමක් පැනවීමට ද අන්තර් ජාතික ක්‍රිකට් සභාව  පියවර ගත්තේය.  වසර 2017 දී වූ මෙම සිදුවීමට අදාළව  විමර්ෂණයක් ආරම්භ කරන ලෙස රජයේ  නීතිපතිවරයා උපදෙස් දුන්නේ පසුගිය මාර්තු මාසයේ දීය. ක්‍රීඩා වැරැදි සෙවීමේ  විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොසේකා මහතා කළ විමසුමක දී පැවැසුවේ පුවතට අදාළව වර්ණවීර මහතා හැරෙන්නට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කටයුතු කළ තණතීරු සකස් කරන්නන් හා  සේවකයන් සිවු දෙනකුගෙන් මේ වනවිට  ප්‍රකාශ සටහන් කරන්ගෙන තිබෙන බවයි.




 ෆොන්සේස්කා මහතා පවසන්නේ මෙම පුවතට අදාළව ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක දින්හාර ලොකුහෙට්ටි මහතා ද, ඉදිරියේ දී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිය ඒකකයට කැඳවීමට නියමිත බවයි. දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක් පනවා ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඊයේ (19) නිවේදනය කළේය. ‘අල් ජසීරා' පුවතට අදාළව ශ්‍රී ලංකාවේ විමර්ශන කටයුතු ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධාන පොලිස් අධිකාරි ඩී.ජී. සමරනායක මහතාගේ අධීක්ෂණයෙන් පැවැත්වේ .


-නාමල් පතිරගේ-